පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය යළි තහවුරු කිරීමේ වගකීම නව කථානායක සතුයි-අගමැතිනි හරිනි සුබපතයි

රටේ ජනතාවගේ විශ්වාසය පසුගිය කාලයේ අහිමි වූ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නැවත ජනතාව තුළ විශ්වාසය ඇති කිරීමේ කාර්යභාරය නව කථානායකවරයා වෙත පැවරෙන වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසුවාය.

පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැක ගැනීමත්, ජනතාව වෙනුවෙන් පෙනී සිටින තැනක් බවට පාර්ලිමේන්තුව පත් කිරීමත් නව කථානායකවරයාගේ වගකීමක් යැයි ද ඇය ප්‍රකාශ කළාය.

දහ වැනි පාර්ලිමේන්තු සභා ගැබ තුළදී අභිනව කථානායක ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතාට සුභාශිංසන එක් කරමින් අගමැතිවරිය මේ බව කියා සිටියාය.

අගමැතිවරිය මෙසේද පැවසුවාය.

කථානායක ධුරය සඳහා ඔබතුමා අතිශයින්ම සුදුසු පුද්ගලයකු බව අපි සියලු දෙනාම දන්නා කාරණාවක්. දේශපාලන භාවිතාව තුළ ජනතාව වෙනුවෙන් කැප වූ නායකයෙක් ඔබ. ජනතාව වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙක්. පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයකු විදිහට අපි ඔබතුමාව හඳුනාගෙන තිබෙනවා. එවැනි පුද්ගලයකු මේ ඓතිහාසික පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත් වීම ගැන අතිශයින්ම අපි සතුටුයි.