කාන්තා ඔලිම්පික් රන් දිනූ ඉමානේ වෛද්‍ය වාර්තා අනුව ක්‍රීඩක‌යෙක්

පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා බොක්සිං රන් පදක්කමක් දිනූ ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලිෆ්, ක්‍රීඩිකාවක් නොව ක්‍රීඩක‌යෙක් බවට තොරතුරු හෙළි වේ. පැරිසියේ ක්‍රෙම්ලින් රෝහලේ සහ ඇල්ජියර්ස්හි ලැමින් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු විසින් සකස් කරන ලද බව කියන වෛද්‍ය වාර්තා අනුව කෙලිෆ්ගේ ජීව විද්‍යාත්මක ලක්ෂණ විස්තර කර ඇත.

හෙළිකරන ලද එම්ආර්අයි වාර්තාව මගින් ක්ෂුද්‍ර පුරුෂ ලිංගයක් පවතින බව පෙන්නුම් කොට ඇති අතර, ක්‍රීඩකයකු සතු අභ්‍යන්තර එක්ස්වයි වර්ණදේහ ඇත. එබැවින් ඇය කාන්තාවක් නොව පුරුෂයෙකු බව වෛද්‍ය වාර්තා‍වේ තර්ක ගොඩනඟා තිබේ.

මෙම වෛද්‍ය වාර්තා ප්‍රංශ මාධ්‍යවේදී ජෆා අයිට් ඕඩියා විසින් හෙළිදරව් කළද, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ලෝක බොක්සිං සංවිධානය සහ ඇගේ පුහුණුකරු පවසන පරිදි ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලිෆ්ට බොක්සිං තහනමක් හෝ ඇගේ ඔලිම්පික් රන් පදක්කම ඉවත් කර නැත.

එහෙත් බොක්සිං ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශ්ව පවසන්නේ පිරිමි අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු ඉමානේ කෙලිෆ්ගේ රන් පදක්කම ඉවත් කර ජීවිතාන්තය දක්වා තහනම් කළ යුතු බවය.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ඉමානේ කෙලිෆ්ට එරෙහිව තරග කළ ක්‍රීඩිකාවෝ එකින් එක පහරවලින් හෙම්බත් වී තරගයෙන් ඉවත්ව ගියහ. ඉතාලි කාන්තා බොක්සිං ක්‍රීඩිකාව වන ඇන්ජෙලා කරිනි ද ඉමානේ කෙලිෆ්ගේ පහරකින් අන්දමන්ද වී තත්පර 45ක් වැනි කෙටි කාලයකදී වළල්ලෙන් ඉවත්ව ගියාය. තත්පර කිහිපයකට පසු ඇන්ජෙලා කරිනි තරගය අවලංගු කරන ලෙස විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

ප්‍රතිවාදියාගේ අභිමතය පරිදි තරග තීරකවරු තරගය අවලංගු කළ අතර නීති රීති අනුව ඉමානේ කෙලිෆ් ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත් කළාය.