මින් පෙර මන්ත්‍රීවරයකු නොවූ අයකු කථානායක ධුරයට පත්වීම පරිවර්තනීය වෙනසක්-මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ගෙන් සුබ පැතුම්

අභිනවයෙන් තේරී පත් වූ කථානායක ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතා වෙත ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සුභාශිංසන පිරිනමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය.

දහ වැනි පාර්ලිමේන්තු සභා ගැබ තුළදී අභිනවයෙන් පත් වූ කථානායක ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතාට සුභාශිංසන එක් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

පරිවර්තනීය දේශපාලන යුගයේ ඔබතුමාගේ පරිවර්තනයත් සනිටුහන් කරනවා. මින් පෙර මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවූ අයෙකු කථානායක ධුරයට අද පත් කර ගැනීම සැබැවින්ම පරිවර්තනීය වෙනසක්. එය විශේෂත්වයක්. මේ වෙනස අපේක්ෂාවෙන් ඡන්දය දුන් ජනතාවට හිස නමනවා. ඔබතුමා නියෝජනය කරන පක්ෂය මුලින්ම 1989 වසරේදී මේ සභා ගැබට පැමිණීමට හේතු වූ කාරණාවක් තිබෙනවා. අප පක්ෂයේ අභාවප්‍රාප්ත වූ එම්.එච්.එම්. අෂ්රොෆ් මහතා එවකට ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටි දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියා සමානුපාතික ඡන්ද ක්‍රමයේ තිබූ එක බාධකයක් සියයට 12ක් විය යුතු ප්‍රතිශතය සියයට 5කට අඩු කළ යුතුයි කියලා. ඒ නිසා එවකට හම්බන්තොට නියෝජනය කරමින් එම වාතාවරණය උඩ දේශප්‍රේමී පෙරමුණ මල් බඳුන ලාංඡනයෙන් පාර්ලිමේන්තුවට තරග කර එක් මන්ත්‍රීවරයකු පත් වුණා. එදා පටන් අද දක්වා සිදුව තිබෙන මේ විශාල පරිවර්තනය ගැන අපි සතුටු වෙනවා. 1994 පාර්ලිමේන්තුවේ අප නායකවරයා සමඟ ජවිපෙ එක් මන්ත්‍රීවරයකු ලෙස නිහාල් ගලප්පත්ති මහතා පත් වුණා. මේ පාර්ලිමේන්තුවේ තිස් වසරක් ගතකළ අයකු විදිහට මම නැවත හැරී බලනවා. මේ පත්වීම ගැන අපි සුභාශිංසනය පළ කරනවා.