රුපියල් මිලියන 20ක මුදලක් අගරු චෙක්පත් ලෙස ලබාදී වංචා කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාට වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (21) නියෝග කළේය.
වැල්ලවත්තේ පදිංචි සුබ්‍රමනියන් මනෝහරන් යන ව්‍යාපාරිකයා විසින් අගරු චෙක්පතක් ලබා දී රුපියල් මිලියන විස්සක වංචාවක් සිදු කළ බවට ඩග්ලස් දේවානන්දා මහතා කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පැවරූ නඩුවේ සාක්ෂි ලබා දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළේය.
සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බැවින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවය.
අසනීප තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කිරීමට නියෝග කෙරිණි.
2016 ජූලි මස 9 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී රුපියල් මිලියන 10 බැගින් වූ චෙක්පත් දෙකක් ගිණුමේ මුදල් නැති බව දැන දැනම ලබාදී වංචා කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව වැල්වත්තේ පදිංචි සුබ්‍රමනියන් මනෝහරන් යන අයට පනවා තිබිණි.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සම්පත් හේවා පතිරණ මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ නඩුවේ පළමු වැනි සාක්ෂිකරු වන දේවානන්දා මහතාට සාක්ෂි ලබාදීම සඳහා අවසන් වරට දිනයක් අධිකරණය මඟින් දී තිබියදී මෙලෙස අධිකරණය මඟහැර ඇති බවයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කරමින් පැමිණිලි විභාගය ජනවාරි 23 වැනිදා තෙක් කල් තැබීය.