උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කෙරේ. මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ඉදිරියේදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්රිත අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බවට පුරෝකථනය කර ඇත. එබැවින් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මඟහරවා ගනිමින් මෙවර උසස් පෙළ විභාගය පවත්වා ගෙනයෑම සඳහා අවධානය යොමු කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ පිළිබඳව ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා අදාළ සියළු අංශ දැනුම්වත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව ආයතන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව සමඟ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශ්වකාර ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත්වෙන කාලසීමාවේ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ අදාළ අංශ වෙත මේ වන විටත් නිකුත් කිරීමට කටයුතු කර ඇත.
යම් සිසු දරුවකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරි තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668020/0113 668100 / 0113668013 / 0113668010 සහ 076 3 117 117 යන අංක වෙත හෝ විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකතන අංකයට ඒ බව දැන්විය හැකි අතර හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.