හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවා තබා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට සහාය වන ගාසා තීරයේ සිවිල් වැසියන්ට මුදල් තෑගි පිරිනැමීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ නිදහස් කරගන්නා සෑම ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදල් ත්‍යාගයක් සහ ඊට සහාය දෙන සිවිල් වැසියන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ නිරුපද්‍රිතව ගාසා තීරයෙන් පිටවීමට අවශ්‍ය මාර්ගයක් සලසා දෙන බවට ද ඊශ්‍රායල අගමැතිවරයා පොරොන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාවට ගාසා තීරයට ඇතුළුවීමට තාවකාලිකව සකස් කර ඇති මාර්ගය ඔස්සේ ගාසා තීරයේ කෙටි සංචාරයක නිරතවූ බෙන්ජමින් නෙතන්යාහු එහිදී එම ප්‍රකාශය සිදු කළ බව ද වාර්තා වේ.
‘කවුරුන් හෝ ප්‍රාණ ඇපකරුවෙක් අප වෙත ගෙන එන්නේ නම් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිතව ගාසා තීරයෙන් පිටවීමට මාර්ගයක් සොයාගත හැකියි. අපි සෑම ප්‍රාණ ඇපකරුවෙක් සඳහාම ඩොලර් මිලියන 5ක් ලබා දෙනවා.‘ ඊශ්‍රායල අගමැතිවරයා එසේ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
‘තීරණය ඔබේ අතේ. අවසානයේදී ප්‍රතිඵලය එකයි. අපි කොහොමහරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නවා‘ අගමැතිවරයා එසේ සඳහන් කළ බව ද වාර්තා වේ.
ඊශ්‍රායලයේ ඇස්තමේන්තුවට අනුව ගාසා තීරයේ සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ සංඛ්‍යාව 101ක් වන අතර, ඔවුන්ගෙන් අවම වශයෙන් 35 දෙනකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්වී ඇතැයි විශ්වාස කෙරේ. ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට මෙවැනි පියවරක් ගෙන ඇත්තේ සටන් විරාම ගිවිසුමකට එකඟවන ලෙස ඔහුට සහ රජයට එරෙහිව ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් සහ සෙසු ඊශ්‍රායල ජනතාවගෙන් එල්ල වන පීඩනය හේතුවෙන් බව ද වාර්තා වේ.