එළඹෙන දෙසැම්බර් මස මුල් සතියේ දී අයවැය සඳහා අමාත්‍යාංශයේ යෝජනා ඉදිරිපත් කිරීමට ඇති හෙයින් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය හදාරමින්, ඊට අනුව තමන්ගේ ආයතනවල වැඩසටහන් සකස් කිරීම අද සිට පටන් ගන්නයැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා අමාත්‍යාංශ ප්‍රධානීන්ට පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වරාය අමාත්‍යාංශයේදී සිය ඇමැති ධුරයේ රාජකාරී ඇරඹීමේ අවස්ථාවට ඊයේ (20) එක් වෙමිනි.
එහිදි වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.
අභියෝගාත්මක, ප්‍රශස්ත තීන්දුවක් ගනිමින් මේ ආයතනවල නායකත්වය හා ඔවුන් වෙනුවෙන් මේ ආයතන මෙහෙයවන ජනවරම අපට ලබා දුන් ජනතාවට පළමුව ස්තූතිවන්ත වෙනවා. අපි පත්වුණේ අපට ඡන්දය දුන් ජනතාව නිසා වුණත් මේ මොහොතේ සිට අපට ඡන්දය දුන් නොදුන් සියලු දෙනා වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. මේ ස්ථානයට එන්න වාහනයෙන් බහින කොට මම අධිෂ්ඨානය කර ගත්තේ මෙතැනින් උඩට පක්ෂ දේශපාලනය නැහැ.
ඒ වගේම මේ ආයතනයේ සියලු දෙනා ජනවරම තේරුම්ගත යුතුයි. ජනතාව අවුරුදු 76ක් මහන්සි වෙලා කැපවීමෙන් දායාද කර ගත් ජනවරමක් මිස තවත් ඡන්ද ජයග්රහණයක්ම නොවෙයි. ජනවරමේ ගුණයත් ඡන්ද ප්‍රතිඵලයත් දිහා බැලුවාම එය අපි කාටත් පේනවා. ඒ නිසා ජනවරම තේරුම් අරගෙන කටයුතු කිරීම මගේ සිට සියලු දෙනාගේ වගකීමක්.
අපට කල් මරන්න කාලයක් නැහැ. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය ජයග්‍රහණය කර තිබෙන්නේ. ඒ ප්‍රතිපත්ති ප්රකාශනය හදාරා ඊට අනුව තමන්ගේ ආයතනවල වැඩසටහන් සකස් කිරීම අද සිට පටන් ගන්න කියා මෙතැන සිටින ප්‍රධාන පෙළේ නිලධාරීන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපේ අමාත්‍යාංශයට අදාළව මූලික ක්‍රියාමාර්ග අපි යෝජනා කර තිබෙනවා. සමහර දේවල් අරමුණු, සමහර දේවල් සංකල්ප, සමහර ඒවා නිශ්චිත ක්‍රියාමාර්ග. ඒ නිසා ඉහළ නිලධාරීන්ට වගකීමක් තිබෙනවා ඒවා තේරුම් අරගෙන මූලික සැකසුම් සකස් කරන්න. දෙසැම්බර් මුල් සතියේ අයවැයට අපේ යෝජනා ඉදිරිපත් කරන්න වෙනවා. ඒ නිසා රෙස්ට් කරන්න වෙලාවක් නැහැ.
අපේ අමාත්‍යාංශයට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අයත්. ජනතාවාදී, කාර්යක්ෂම, නවීන ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් ජනතාවගෙන් ඉල්ලීම් තිබෙනවා. මේ වසර පහේ ඒ සම්බන්ධයෙන් විශාල අභියෝගයක් අපට තිබෙන්නේ. අධිවේගී මාර්ග වගේම අපේ ගම්වල දුෂ්කර ප්‍රදේශවලත් මාර්ග සකස් වෙන්න ඕනෑ. මහාමාර්ග හදනවා වගේම වේගයෙන් දේශගුණික සාධක වගේම ප්‍රමිතියෙන් ප්‍රශ්නත් නිසා කැඩෙනවා.
අපි අවංක විය යුතුයි. රටේ ආර්ථික අර්බුදයට විශාල දූෂණ හේතු වුණා. ජනතාව ඉතිහාසයේ නරකම බිඳ වැටීමට ලක්කර ඔවුන්ට අනාගතය අහිමි කර ආර්ථික අර්බුදයට දායක වුණු නරකම ව්‍යාපෘති ගණනාවකුත් මේ අමාත්‍යාංශය යටතේ අතීතයේ සිදු වෙලා තිබෙනවා. කවුරු කළා වුණත් ඒ නරක දායාදය රටටයි ලැබී තිබෙන්නේ. එවකට නායකත්වය දුන් දේශපාලනඥයන්ගේ සමහර නිලධාරීන්ගේ අඩුපාඩුකම් මේ ඛේදවාචකයට මුල්වෙලා තිබෙන්නේ. ඉදිරියේදී ඒ අඩුපාඩු හදාගෙන නැවත අඩුපාඩු නොවෙන විදියට වැඩ කරන්න පුළුවන් වෙයි.
අපට පැවරී තිබෙන වගකීම ඉටුකරන්න උත්සාහ දරනවා මිසක් පෞද්ගලික න්‍යාය පත්‍ර අපට නැහැ. තරුණ දක්ෂ උගත් නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අපට ලැබෙනවා. හිටපු ඇමැති මුහුද තිබෙන දිස්ත්‍රික්කයක වුණු නිසා වරාය ඒ දිස්ත්‍රික්කයේ හැදුණා. බැරිවෙලාවත් නුවර වගේ වුණානම් තමන්ගේ ඡන්ද පදනම අනුව නුවර වරාය හදන්න තිබුණා. ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න ඔබේ සහාය බලාපොරොත්තු වෙනවා. එහෙම සහාය දෙන්න බැරි අයට පුළුවන් ඉන්නත් පුළුවන්. බැරිනම් යන්නත් පුළුවන්. ජනතාවාදී අමාත්‍යාංශයක් කරන්න ඕනෑ. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න නම්‍යශීලි වෙන්න පුළුවන්. මිනිසුන්ට හොඳම ජනතාවාදී සේවයක් ලබාදෙන්න ඕනෑ. ඒ වගේම සේවක සුභසාධනයත් වැදගත්. මෙතැන පිරිසුදු කරන කෙනා දක්වා සේවක අයිතිවාසිකම් සුබසාධනය සිදු වෙන්න ඕනෑ. ඔවුන්ට මේ අමාත්‍යාංශයේ සේවකයන් කියන දේ දැනෙන්න ඕනෑ. මාස හයක් තුළ ඒ හැඟීම ඇති කරගන්න පුළුවන් වුණොත් අපට මේ මැෂීම දුවවලා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. වෘත්තීය සමිති නායකයන්ට ගැටලු විසඳාගන්න පුළුවන්. සේවකයන්ට මිත්‍රශිලී රජයක් විදියට සාකච්ඡාමය මාර්ගයෙන් කටයුතු කරමු. රටට අපහසුතාවක් නොවන ආකාරයෙන් ප්‍රශ්න විසඳීම ප්‍රධාන නිලධාරීන්ගේ වගකීමක්.
ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කර්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වරාය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්වරුන්, අමාත්‍යාංශ නිලධාරීන් හා වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.