දසවැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය විසින් ඊයේ (20) විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබිණ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් කණ්ඩායම් 3ක් ලෙස බෙදා ඊයේ (20) පෙ.ව. 10.00 සිට මේ වැඩමුළුව සංවිධානය කර තිබූ අතර, අද (21) ආරම්භ වන දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ වීම, එහිදී කටයුතු සිදු වන ආකාරය මෙන්ම මංගල සභාවාරයෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්රතිපත්ති ප්රකාශය සිදු කරන අවස්ථාව ආදිය සම්බන්ධයෙන් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කර ඇත. සභානායක කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මේ වැඩමුළුවේදී සභානායක ලේකම් ජනකාන්ත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් මහජන නියෝජිතයන් දැනුවත් කර ඇත. අද (21) පාර්ලිමේන්තුව ක්රියාත්මක වන ආකාරය කථානායකවරයා තෝරන අවස්ථාවේ නම් දෙකක් ඉදිරිපත් වුව හොත් ඡන්ද විමසීමක් සිදු කිරීමට සිදු වන බැවින් ඡන්දය ප්රකාශ කළ යුතු ආකාරය ආදිය සම්බන්ධයෙන් පවා මහජන නියෝජිතයන් දැනුවත් කර තිබේ. පැලවත්තේ පිහිටි ජාතික ජනබලවේගයේ පක්ෂ කාර්යාලය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්රීවරුන් බස් රථ මඟින් පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇති අතර, මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුව තුළ නිරීක්ෂණ චාරිකාවක්ද ලබාදී ඇත.
එමෙන්ම දසවැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ පක්ෂ විපක්ෂ සියලු මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තු ක්රියාවලිය, ආචාර ධර්ම, වරප්රසාද, ස්ථාවර නියෝග ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා තෙදින වැඩමුළුවක්ද පැවැත්වීමට නියමිතය.