ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැඟීම ප්‍රධාන අරමුණ බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (19) කොළඹ-07, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී සිය රාජකාරි ආරම්භ කරමිනි. මේ අවස්ථාවේදී මහා සංඝරත්නය, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආගමික නායකයෝ ආගමානුකූලව ඇමැතිවරයාට ආශිර්වාද කළහ.
අපේ කණ්ඩායමට තිබෙන්නේ විශාල කැපකිරීම් කර පැළ කරපු සිහිනයක් යැයිද ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය. වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
ජයතිලක කම්මැල්ලවීරයන් ප්රමුඛ විද්වතුන්, කලාකරුවන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වෙනවා. මේ අමාත්‍යාංශය මේ රටේ වටිනාම, ප්‍රබලම අමාත්‍යාංශයක්. රටේ ආර්ථිකය විනාශ වෙලා, පළුදුවෙලා, බිඳවැටිලා තිබෙන බව තමයි අපට අහන්න ලැබෙන්නේ. ආර්ථිකය නඟා සිටුවීමට අපේ රජය කටයුතු කරනවා. අපේ සංස්කෘතික ජීවිතය, භාවමය ජීවිතය, අධ්‍යාත්මික ජීවිතය බෙහෙවින් පළුදු වෙලා තිබෙනවා. එම විෂය පථය මේ අමාත්‍යාංශයට කේන්ද්‍ර ගතවෙලා තිබෙනවා. මුළු මහත් ශ්‍රී ලාංකික ජන ප්‍රජාවගේම සංස්කෘතික ජීවිතය, උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තබන්න අපට හැකිවේවි කියා ලොකු විශ්වාසයක් තිබෙනවා. බිඳවැටුණු මානව ජීවිතය, මානව ධර්මතා සියල්ල ගොඩනඟා ගැනීමට පුළුවන් වේවි. ආර්ථිකය විතරක් ගොඩනඟාගෙන පලක් නැහැ කියා තමයි මට හිතෙන්නේ යැයිද පැවසීය.
එම කාර්යයට ජනතාවගේ විශාල සහයෝගයක් අවශ්‍ය වෙනවා. අපේ අමාත්‍යාංශයට විශාල විෂය පථයක් තිබෙනවා. සංස්කෘතික ක්ෂේත්රය පිළිබඳව මෙතැන සිටින ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දන්නවා. මේ පිළිබඳව මෙරට තිබූ බර තැබීම කෙබඳු එකක්ද කියා. ඒ බර තැබීම සමහරවිට ඛේදවාචකයක් දක්වා දුර්වල වූ එකක්. මේ තත්ත්වය ලංකාවේ වර්තමාන මානව ජීවිතයේ තිබෙන තත්ත්වය උදාවෙන්න බලපාන්න පුළුවන්. ඒ නිසා සමස්ත වගකීමක් අප හැමෝටම තිබෙනවා. මම ඒ වගකීම භාරගෙන ක්‍රියා කරන්න කටයුතු කරනවා.
අපට තිබෙන්නේ විශාල කැපකිරීම් කර පැළ කරපු සිහිනයක්. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නාලිකා ගුණරත්න මහත්මිය ඇතුළු නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.