දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ කිරීමෙන් පසුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙරවරු 11.30ට පමණ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනය හෙවත් රාජාසන කතාව සිදුකිරීමට නියමිතය.
දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී ඇති බැවින් අද (21) ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ජය මංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාළි ආදි කිසිවක් මෙම උත්සවය සඳහා ඇතුළත් නොවීම විශේෂත්වයක් වේ.
එහෙත් මෙම උත්සවය චාම් හා අභිමානවත් ලෙස පැවැත්වීම වෙනුවෙන් සියලු කටයුතු සංවිධානය කර ඇති අතර මේ වෙනුවෙන් පෙරහුරු වැඩසටහනක් ද ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමි වී තිබේ.
මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්රකාශනය මඟින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීම සිදුවේ.
ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිත ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට පැමිණෙන සියලු ආරාධිතයන් පෙරවරු 11.00ට පමණ වන විට අසුන්ගත යුතු වේ.
ප්‍රතිපත්ති ප්රකාශනය හෙවත් රාජාසන කතාව සිදුකිරීමට පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසලදී කථානායකවරයා විසින් පිළිගැනීම සිදුවේ.
පෙරවරු 11.15ට පමණ අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීම සිදුවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරවරු 11.20ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට නියමිත අතර කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට නියමිත වේ. ඉන් අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යෑම සිදුවේ.
අනතුරුව පැලඳුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා පෙරවරු 11.25ට ගණපූර්ණ සීනුව නාද වන තෙක් එහි රැඳී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා සහ මහලේකම්වරු යන අනුපිළිවෙළට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදු වේ.
සභාගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමඟ අසුන් ගැනීම සිදුවේ. ඉන්පසුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු සභාව කල් තැබීමට නියමිතය.
දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව ද වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව මෙම උත්සවයට විද්‍යුත් ක්‍රමයට ආරාධනා පත්‍ර (E – Invitations) යොමුකොට ඇති බව ද වේත්‍රධාරීවරයා පැවසීය.