කුඩා දරුවන් විදත් ඩිජිටල් තිර භාවිතයට ඇබ්බැහි වීම නිසා අක්ෂි ආබාධ, මන්දපෝෂණය, අධිපෝෂණය යනාදි රෝග රැසකට ගොදුරුව ඇතැයි සමීක්ෂණ වාර්තාවලින් හෙළිව තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ මනෝ විද්‍යාඥ ස්වර්ණා විජේතුංග මහත්මිය පැවසුවාය.
කුඩා දරුවන්ට කෑම කැවීම සඳහා ජංගම දුරකතන තිර ඇතුළු ඩිජිටල් තිර භාවිතයට ලබාදීම නිසා දරුවන් අධි පෝෂණයට මෙන්ම මන්දපෝෂණයට ගොදුරු වන බවත් මවුපිය වැඩිහිටියන්ගේ පහසුව උදෙසා ඩිජිටල් තිර භාවිතයට දරුවන් යොමු කිරීම නිසා දරුවන්ගේ ජීවිත නාස්ති වන බවත් ඇය ප්‍රකාශ කළාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇය මේ බව ඊයේ (20) පැවසුවාය.
ඉස්සර කාලයේ ඖෂධ වට්ටෝරු නිකුත් කරනුයේ බෙහෙත් ලබාදීමට යැයි ද, වර්තමානය වන විට ඖෂධ වට්ටෝරු නිකුත් කිරීමට සිදුව ඇත්තේ මවුපිය වැඩිහිටියන්ට දරුවන් සමඟ සෙල්ලම් කරමින් ඔවුන් සමඟ කාලය ගත කරන්න යැයි ද ඇය ප්‍රකාශ කළාය.
ඩිජිටල් තිර භාවිතය නිසා සමස්ත දරුවන්ගෙන් සියයට 30ක් අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන බවත් එම සංඛ්‍යාව සියයට 50ක් දක්වා 2050 වසර වන විට වර්ධනය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇති බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නේකුඹුර මහත්මිය පැවසුවාය.
දරුවන්ට තිබෙන අක්ෂි වපර ගතිය සම්බන්ධයෙන් ද මවුපිය වැඩිහිටියන් අවධානය යොමු කර අදාළ ප්‍රතිකාර සඳහා දරුවන් යොමු කළ යුතු බවත් නොඑසේ නම් දරුවා දිගුකාලීනව අක්ෂි ආබාධවලට ලක්වීමට ඉඩ ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
දරුවකු ඉපදී මාස 18ක් වන තෙක් කිසිදු ඩිජිටල් තිරයක් නැරඹීමට ලබා නොදිය යුතු බවත් වයස අවුරුදු 18 සිට අවුරුදු 2 දක්වා මවුපියන්ගේ අධීක්ෂණය යටතේ දිනකට පැයක පමණ කාලයක් ඩිජිටල් තිර භාවිතයට ලබාදීම යෝග්‍ය බවට අමෙරිකානු සමීක්ෂණයකින් හෙළි කර ඇති බවත් ඇය පැවසුවාය.