ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයේ දැඩි පාලනය යටතේ සියලු අයිතිවාසිකම් අහිමි වූ එරට දැරියන් සහ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් 17 හැවිරිදි ඇෆ්ගන් දැරියක වන නිලා ඉබ්රාහිම්ට ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වසර 2021දී එවකට තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු සිය පවුලේ සාමාජිකයන් සමඟ පාකිස්තානයට පලා ගිය මේ දැරිය ඇෆ්ගනිස්තානයේ දැරියන් හා කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එවකට ගැයූ ගීතයක් ඇගේ සොහොයුරකු විසින් පටිගත කර සමාජ මාධ්‍යජාලයට මුදා හැර තිබූ බවත්, එම ගීතය ලොව පුරා වැඩි අවධානයට ලක්වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම ගීතය ලොව පුරා කතාබහට ලක්වීමෙන් පසු ඇය විසින් ගායනා කරනු ලැබූ එවැනි කාන්තා විමුක්ති ගී රැසක් පසුව සමාජ මාධ්‍යජාලයේ සංසරණය වී ඇති අතර, ගී ගයන දැරිය නමින් ඇය ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයකට ලක්වූ බව ද වාර්තා වේ. සිය විමුක්ති ගීත ලොව පුරා ප්‍රචලිත කරමින් තලේබාන් නීතිය යටතේ නිදහස අහිමිවූ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් හා දැරියන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 4ක අරමුදලක් ගොඩ නැඟීමට ද නිලා ඉබ්රාහිම් සමත්වූ අතර, නිදහස අහිමිවූ ඇෆ්ගන් දැරියන් 200කට පමණ රටින් පලාගොස් විදෙස් රටවල අධ්‍යාපන කටයුතු කිරීමට එමගින් සහාය ලබා දී ඇතැයි ද වාර්තා වේ.
මේ වන විට සිය සොහොයුරා සමඟ කැනඩාවේ පදිංචි වී සිටින නිලා ඉබ්රාහිම් පසුගියදා නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩෑම් නුවරදී ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර, එම ත්‍යාගය ඇයට පිරිනමනු ලැබුවේ නොබෙල් සාම ත්‍යාගලාභිනියක වන යේමනයේ ටව්කෝල් කර්මාන් විසිනි. ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය පිරිනැමීම ආරම්භ වූයේ වසර 2005 රෝමයේදි වන අතර, මීට පෙර පාකිස්තානයේ මලාලා යූසුෆ්, දේශගුණික විපර්යාස සම්බන්ධ සමාජ ක්‍රියාකාරිනියක වූ ග්‍රේතා තනබර්ග් වැනි ලොව වැඩි අවධානයට ලක්වූ දැරියන්ට හිමි වී තිබිණි.