ඉන්දීය අගමැතිවරයකු වසර 56කට පසු දකුණු අමෙරිකානු කලාපයේ රටක සංචාරය කරන ඓතිහාසික අවස්ථාව සටහන් කරමින් නරේන්ද්‍ර මෝදි ඊයේ ගයානා දූපත් රාජ්‍යයේ සංචාරයක් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර අවසන් වරට 1968 වසරේදී දකුණු අමෙරිකානු රාජ්‍යයක සංචාරය කර ඇත්තේ ඉන්දියාවේ හිටපු අගමැතිනිය ඉන්දිරා ගාන්ධි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊයේ ගයානා දූපත් රාජ්‍යයේ ජෝර්ජ් ටවුන් අගනුවර ළඟා වු ඉන්දීය අගමැතිවරයා එරට ජනාධිපති මොහොමඩ් ඉර්ෆාන් අලි සහ කැබිනට් ඇමැතිවරුන් විසින් පිළිගනු ලැබූ බවත්, ඉන්දීය අගමැතිවරයා ගයානා රාජ්‍යයේ පාර්ලිමේන්තුවේදී විශේෂ රැස්වීමක් ඇමැතීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඉන්දිය අගමැති මෝදි මේ සංචාරයට එක්වී ඇත්තේ ගයානා රාජ්‍යය ඇතුළු කැරීබියන් දූපත් සමූහයේ රටවල නායකයන් සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි සමුළුවට සහභාගිවීමට බවත්, එහිදී දෙපාර්ශ්වය අතර සබඳතා තහවුරු කරගැනීම පමණක් නොව කැරීබියන් දූපත් රාජ්‍යයන් සහ ඉන්දියාව අතර විවිධ ක්ෂේත්රවලින් සම්බන්ධතා ගොඩනඟා ගැනීමත් සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.