සංචාරක නවසීලන්ත පිලට එරෙහි තෙවැනි හා අවසන් එක්දින තරගයේ ඕවර 21ක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඊයේ රාත්‍රියේ ඇද හැලුණු මහ වරුසාවත් සමඟ තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
පස්වරු 3.59ට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් පැය ඒකහමාරකට ආසන්න කාලයක් මුලින් තරගය නවතා දැමුණු අතර, අනතුරුව ක්‍රීඩා පිටියේ වසා තිබූ ආවරණ ඉවත් කොට මිනිත්තු 15ක් ගතවෙද්දී වර්ෂාව යළිත් අකාරුණකවී තරගය පවත්වාගෙන යෑමට බාධා කළේය. ඒ මොහොතේම ක්‍රීඩාංගණ සේවකයෝ ‘කඩි ගුලක්’ මෙන් යළි ක්‍රීඩා පිටිය වසා දැමූ අතර, තරගය පිළිබඳ අවසන් තීරණය රාත්‍රී 7.45ට පමණ ප්‍රකාශ වනතුරු වැස්ස නොනවත්වා ඇද හැලෙමින් පැවැතුණි. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීම මෙයට දින තුනකට පෙර පැවති තරගයට වර්ෂාව බාධා ගෙන දුන්නද මෙතරම් දරුණු තත්ත්වයක් නොවී එය ඉනිමක් ඕවර් 47කට සීමා විය. එබැවින් එදින ‘ටිකට් අරන්’ තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ට අසාධාරණයක් නොවිණි. එහෙත් ඊයේ දිනයේ ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු සියල්ල වැස්ස හේතුවෙන් සුනු විසුණු විය.
කෙසේ වුවද තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කල් ඇතිව හිමිකර ගෙන තිබූ හෙයින් මෙහි ප්‍රතිඵලය ශ්‍රී ලංකා පිලට විශාල වැදගත්කමක් නොවිණි. මේ ජයග්‍රහණයත් සමඟ මේ වසරේදී ශ්‍රී ලංකා පිල මේ වසරේදී සහභාගිවූ එක්දින තරගාවලි 5ක් පිට පිට ජය ගැනීමට සමත්වීම සුවිශේෂී දක්ෂතාවකි. නවසීලන්ත තරගාවලියට පෙර මේ වසරේදී ප්‍රබල ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය යන රටවල් පරාජය කොට තරගාවලි ජයග්‍රහණ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් විය.
වසර 2012දී ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජයගෙන තිබූ අතර, වසර 12කට පසු නවසීලන්තය එක්දින තරගාවලියකදී පරාජය කරමින් වාර්තා පොත් අලුත් කිරීමට සිංහයෝ සමත් වූහ. ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තරගයකදී වැඩිම වෙනසක් වාර්තා කරමින් අලුත් ක්‍රිඩකයන් 5ක් කැඳවා තිබිණි. කන්ද උඩරටින් ක්‍රිකට් පිටියට පිවිසි සෑම අතකින්ම දක්ෂතා දක්වන 22 හැවිරිදි චමිඳු වික්‍රමසිංහ එක්දින වරම් දිනාගත් අතර, නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක, ඩිල්ෂාන් මධුසංඛ හා මොහොමඩ් සිරාස් ඊයේ තරගයට කැඳවීම් ලැබූහ. ශ්‍රී ලංකා පිලේ සිටි කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ හා අසිත ප්‍රනාන්දු විවේක ගන්වා තිබූ අතර, නවසීලන්ත පිලේ වේග පන්දු යවන ජේකබ් ටෆී හා නේතන් ස්මිත් වෙනුවට ඇඩම් මිලන් හා එක්දින වරම් දිනාගත් සකාරි ෆෝක්ස් ක්‍රීඩා කළහ. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල තරගය අත්හැර දමද්දී කඩුලු 1කට ලකුණු 112ක් ලබා සිටි අතර, විල් යංග් නොදැවී ලකුණු 56ක් හා හෙන්රි නිකොලොස් නොදැවී ලකුණු 46ක් ලබා සිටියේය. බිඳ වැටුණු එකම කඩුල්ල චරිත් අසලංකගේ අලංකාර උඩ පන්දු රැකීමෙන් වේග පන්දු යැවූ මොහොමඩ් සිරාස්ගේ ගොදුරක් බවට පත් විය.
මේ එක්දින තරගාවලියේ වීරයා සම්මානය තරග දෙකකදී ලකුණු 217ක් ලබාගත් කුසල් මෙන්ඩිස් දිනා ගත්තේය.