වසර දහස් ගණනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය මේ වන විට සම්පූර්ණයෙන්ම පිරිහෙමින් පවතින බවත්, එය නැවතත් නඟාසිටුවීමට බලයට පත්වූ සෑම රජයක්ම ප්‍රතිඥා දුන් නමුත් එය වචනයට පමණක් සීමා වීම නිසා දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය පිරිහී යෑමට පටන්ගෙන ඇති බවත් ගලේවෙල ප්‍රාදේශීය ආයුර්වේද සංරක්ෂණ වෛද්‍ය සභාවේ දේශීය ආයුර්වේද වෛද්‍ය ආර්. ඇම්. රත්නායක මහතා පැවැසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“දේශීය ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය ක්‍රමය නඟාසිටුවීමට රජයේ අනුග්‍රහය අත්‍යවශ්‍යයි. එදා රාජ්‍ය අනුග්‍රහය යටතේ දේශීය වෛද්‍යවරුන් ඒකරාශී කර ප්‍රාදේශීය මට්ටමේ ආයුර්වේද සභා පිහිටවූවා. එයට සමගාමීව දේශීය වෛද්‍යවරුන් සතුවූ ඉතා වටිනා තොරතුරු ද එක්රැස් කර ගත්තා. එපමණක් නොව මේ සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ද ඉදි කළා. ඒ සඳහා රුපියල් ලක්ෂ ගණනක් වටිනා උපකරණ ද දුන්නා. දැනට පවතින තත්ත්වය යටතේ මේ සියල්ල විනාශ වෙමින් පවතිනවා. මේ නිසා රජය විසින් දේශීය වෙදකම නඟාසිටුවීමට පියවර ගත යුතුයි.
වසර දහස් ගණනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන මේ වන විට නාමික සැලකිල්ලක් දක්වමින් කටයුතු කිරීම කනගාටුවට කරුණක්. බටහිර වෛද්‍ය ක්‍රමයට දැනට වැඩි අනුග්‍රහයක් දැක්වීම මෙයට මූලික හේතුවක්. දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මේ ආකාරයෙන් තරමක් හෝ රැඳී ඇත්තේ ග්‍රාමීය මට්ටමේ සිටින දේශීය වෛද්‍යවරුන් නිසයි. මේ තත්ත්වය තවදුරටත් පැවතුණහොත් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නැත්තටම නැතිවී යෑම වැළැක්විය නොහැකියි. ඒ නිසා මේ දේශීය වෛද්‍ය සේවාව නඟාසිටුවීමට රජයේ අවධානය යොමු විය අත්‍යවශ්‍යයි.”