එක්සත් ජාතීන්ගේ ආහාර ලොරි 97ක් ගාසා තීරයේදී පැහැරගෙන

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර රැගත් ලොරි රථ පෙළක් ගාසා තීරයේදී කොල්ලකෑමට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පලස්තීනයේ අවතැන් වූ ජනතාවට ආහාර රැගෙන යමින් තිබූ ලොරි රථ 109කින් 97ක් අතුරුදන් වී ඇතැයි පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම ලොරි රථවල රියැදුරන්ට තුවක්කු පෙන්වා ආධාර තොග බලහත්කාරයෙන් ගොඩ බස්වා ඇතැයි ද, මුහුණු ආවරණ පැලඳ සිටි කණ්ඩායමක් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එම පැහැර ගැනීම සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එම මංකොල්ලය සිදු කළ කණ්ඩායම හඳුනා ගැනීමට නොහැකිවූ බව පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සියේ කොමසාරිස් ජනරාල් පිලිප් ලැසේරිනි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර, මෙවැනි බිහිසුණු ක්‍රියා සිදුවීම හේතුවෙන් මානුෂීය ආධාර මත යැපෙන මිලියන දෙකක පමණ පලස්තීන ජනතාව දැඩි ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ද සඳහන් කර තිබේ.