මෙරට තරුණ පරපුරේ අනාගතයත්, ක්‍රීඩාවේ අභිවෘද්ධියත් උපරිම අයුරින් ගොඩනංවා ක්‍රීඩාව තුළින් දියුණු, දක්ෂ, මානව හිතවාදී ගුණාත්මක පුරවැසියන් බිහි කිරිම නව රජයේ බලාපොරොත්තුව බව ක්‍රීඩා අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය. ඊයේ දහවල් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් නව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව, ලොව ඉහළම තලයට රැගෙන යෑමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවය.
“ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයන්, වෘත්තීය ක්‍රීඩකයන්, ගුණත්වයෙන් ඉහළ මානව හිතවාදී මිනිසුන් බිහි කරන්න ක්‍රීඩා අමාත්‍යාංශය තුළ හොඳ අවස්ථාවක් තිබෙනවා. මේ අමාත්‍යාංශයේ වගකීම අතිවිශාලයි. අපේ රටේ තරුණ පරපුර හා ක්‍රීඩාව නැංවීම තුළින් තමයි අපිට රටක්, ජාතියක් විදිහට ඉදිරියට යන්න අවස්ථාව ලැබෙන්නේ. අපේ රජයේ අරමුණ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ රටේ ජනතාවට උරුම කරදීමයි. ඒ සඳහා ලාංකේය තරුණයන්ට හොඳ රටක් සහ ජීවිතය විඳින්න පුළුවන් සමාජයක් ගොඩනැඟීමට අපේ අමාත්‍යාංශයට විශාල වැඩ කොටසක් කළ හැකියි.” නව ක්‍රීඩා ඇමැතිවරයා කියා සිටියේය.
මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ බවත්, සෑම ක්‍රීඩාවක්ම වෙනුවෙන් සැලසුම් සකස් කර ඇති බවත් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා, මෙරට සෑම ප්‍රදේශයකම දරු දැරියන්ට ක්‍රීඩාවට සම්බන්ධ විය හැකි ආකාරයට එම සැලසුම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
“අපේ රටේ ක්‍රීඩාවට දක්ෂ දරුවන් ඉන්නවා. කැලේට පරවෙන මල් ගොඩක් තියෙනවා. මේ හැම දරුවකුම ක්‍රීඩාවට යොමු කරන්න අවශ්‍ය පහසුකම් ලබාදීමටත් අපි සැලසුමක් සකස් කරනවා. අපේ බලාපොරොත්තුව ලොව ඉහළම තලයේ වෘත්තීය ක්‍රීඩකයන් බිහි කිරීමයි.” අමාත්‍යවරයා කීවේය.
“හැම ක්ෂේත්‍රයකින්ම මෙන්ම ක්‍රීඩාවෙනුත් දූෂිත දේශපාලනය විසින් අපේ රට අගාධයට ඇද දමා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ දූෂිත දේශපාලනයෙන් ක්‍රීඩාව මුදාගෙන සියලු දක්ෂයන්ට අවස්ථා ලැබෙන විදිහට නිදහස ලබා දීමයි. ක්‍රීඩා සංගම් හා සම්මේලනවල තමයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. මේවා ඇතුළේ වංචා, දූෂණ අපි අහලා තියෙනවා. මේවා නවත්තලා සියලු දක්ෂයන්ට එක හා සමානව අයිතිවාසිකම් සහිතව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම තමයි අපේ වැඩපිළිවෙළ වෙන්නේ. අපේ රටේ ආර්ථික පරිහානියේ කොටසක් හැටියට තමයි ක්‍රීඩාවත් පරිහානියට පත්වෙන්නේ. මේ තියෙන රාජ්‍ය ආදායම යටතේත් ක්‍රීඩාවේ යටිතල පහසුකම් ප්‍රමාණවත් අයුරින් ඉෂ්ඨ කරගන්න තිබුණා පාලකයන්ට වුවමනාවක් තිබුණා නම්. නමුත් වංචා දූෂණ, අකාර්යක්ෂමතාව වගේම නොසැලකිල්ල නිසාත් ඉෂ්ඨ කරගන්න නොහැකිවුණු වැඩ කොටසක් තිබෙනවා. ඒ වගේම උදව් කරන්න ජාත්‍යන්තර සංවිධාන තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධාන තිබෙනවා. රටවල් තිබෙනවා. ඒ සියලු පාර්ශ්ව එක්ක සාකච්ඡා කරලා විශේෂයෙන් චීනය, ජපානය වගේ ක්‍රීඩාවට උදව් කරන රටවල් තිබෙනවා. ඒ වගේ රටවලින් උදව් අරගෙන අපේ රටේ ක්‍රීඩාව නංවන්න අපි කටයුතු කරනවා.” ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් කීවේය.
නව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩ භාරගැනීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ. මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය ද එක්වී සිටියහ.