සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපති ඉංජිනේරු බන්දුල කරුණාරත්න

ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අයත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු බන්දුල කරුණාරත්න මහතා පත් කර තිබේ.

සැලසුම් හා කළමනාකරණ ඉංජිනේරු සේවාවන් පිළිබඳව අත්දැකීම් හා පළපුරුද්ද සහිත ඒ මහතා ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනයේ වරලත් ඉංජිනේරුවරයෙක් වන අතර, එම ආයතනයේ භාණ්ඩාගාරික ලෙස ද කටයුතු කරයි. හරිත ගොඩනැඟිලි කවුන්සිලයේ සාමාජිකයෙක් මෙන්ම තවත් වෘත්තීය ආයතන ගණනාවකම සාමාජිකත්වය දරන හෙතෙම ඉංජිනේරු ක්ෂේත්‍රයේ වසර 29ක පමණ අත්දැකීම් ඇත්තෙකි. නාගරික නිවාසවල පදිංචි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ඔවුන්ගේ පොදු පහසුකම් නියාමනය, නඩත්තු කිරීම හා කළමනාකරණය කිරීම සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රධාන සේවා කාර්යයන් වන අතර, සිය අත්දැකීම් තුළින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ධුරයේ වගකීම් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ (18) වැඩ භාර ගනිමින් ඒ මහතා පැවසීය.

මේ අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.