හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වෛද්‍ය සහතිකයක් නිකුත් කළ පාණදුර ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක වෛද්‍යවරයකුට පෞද්ගලිකව පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (18දා) නොතීසි නිකුත් කළේය. උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 75කට අධික මුදල් හා දේපළක හිමිකාරීත්වයක් දැරීමේ චෝදනා යටතේ පවරා ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය දුන්නේය.
මෙම නඩුව පසුගිය අප්‍රේල් 18දා කැඳවූ අවස්ථාවේ රෝගීව සිටින බව දක්වා විත්තිකරු නඩු විභාගයට සහභාගී නොවීය. එහිදී පාණදුර ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක වෛද්‍යවරයකුගෙන් ගත් වෛද්‍ය සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාවේ දී සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙණෙවිය කරුණු දක්වමින් විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙයට පෙර අවස්ථා ගණනාවක දී රෝගී බව පවසා අධිකරණය මඟහැර සිටි බව සිහිපත් කළාය.
දෙපාර්ශ්වයේ එකඟතාව අනුව නඩු දිනයක් යොදා ගත් පසු අසනීප බව පවසා වෛද්‍ය සහතික ඉදිරිපත් කර විත්ති පාර්ශ්වය අධිකරණය නොපැමිණීම සිදුකරයි නම් එය යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයට බලවත් ලෙස බාධා කිරීමක් බව එහි දී මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දෙන ලදී.
චුදිත විමල් වීරවංශ මහතාට වෛද්‍යවරයා කළ ප්‍රතිකාරවලට අදාළ සියලු ලේඛනවල සහතික පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිරෝගා මෙඩි කෙයාර් බෙහෙත් ශාලාවේ වෛද්‍ය රොෂන් ලියනාරච්චිට අධිකරණය නියම කළේය.
ඒ අනුව මීළඟ නඩු දින විත්තිකරුට ප්‍රතිකාර කිරීමට අදාළ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් එමඟින් අදාළ වෛද්‍යවරයා චුදිත කුමන දිනවල, කුමන වේලාවන් තුළ දී ප්‍රතිකාර කළේද යන්න තහවුරු කළ යුතු බව කියා සිටින ලදී. එමෙන්ම ලේඛන මඟින් විත්තිකරුගේ රෝග නිරීක්ෂණ වාර්තා, ඔහුට වෛද්‍ය පරීක්ෂණ කළේ නම් එම වාර්තා, වෛද්‍ය ප්‍රතිකාර වාර්තා, බෙහෙත් නිර්දේශ කළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ද දන්වන ලදී.
ඊයේ (18දා) නඩුව කැඳවූ අවස්ථාවේ අදාළ වෛද්‍යවරයා එම ලේඛන ඉදිරිපත් නොකිරීම පිළිබඳ අධිකරණය කරුණු විමසා සිටින ලදී.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් වෛද්‍යවරයා වෙනත් අධිකරණයකට වාර්තා ඉදිරිපත් කර ඇති බව කියා සිටියේය.
ඒ අනුව මීළඟ නඩු දිනයේ පෞද්ගලිකව පෙනී සිට කරුණු දක්වන ලෙස මහාධිකරණ විනිසුරුවරයා වෛද්‍යවරයාට නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව 2017 වසරේ දී ගොනුකර ඇති මෙම නඩුවේ සංශෝධිත අධිචෝදනා පත්‍රය ඊයේ (18දා) භාර දෙන ලදී. එහි දී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියලු චෝදනාවන්ට සිය සේවාදායකයා නිවැරදිකරු බව කියා සිටියේය.
විමල් වීරවංශ මහතා ඇමැතිවරයකු ලෙස කටයුතු කළ 2010 – 2014 දක්වා වූ වසර 5ක කාලයක් තුළ සිය වත්කම් හා වැටුපෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75කට අධික මුදල් හා දේපළ හිමිකාරීත්වයක් දැරීමේ චෝදනා යටතේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා ඇත. ලබන මාර්තු 26දා නඩුව යළි කැඳවීමට නියමිතය.