විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (18) පැවති චාම් උත්සවයක දී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
එම අවස්ථාවට විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 2000 වසරේ සිට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර පසුගිය 14 දා පැවති මහමැතිවරණයේ දී, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයකු ලබාගත් ඉහළම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගනිමින් නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත්විය. විජිත හේරත් මහතා මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිවරයා ලෙස කටයුතු කර ඇති අතර නැවත තේරී පත්වීමට පෙර, ඒ මහතා විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය. ඇමැති විජිත හේරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.