ලැබී ඇති අසීමිත බලය ආණ්ඩුව කොතැනකට මෙහෙයවනු ඇතිදැයි පුංචි හෝ සැකයක් ඇති වී තිබෙන අයෙක් ඇත්නම් ඒ සැකය දුරු කර ගන්නා ලෙසත් ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය හැකි අයුරු මා හොඳින් දන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේගය රජයේ අභිනව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (18) දිවුරුම් දීමෙන් අනතුරුව පැවති චාම් උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.
බලයේ කේන්ද්‍රය වන කැබිනට් මණ්ඩලයේ වගකීම ඉටු කරන ප්‍රමාණය අනුව ආණ්ඩුවේ සමත්, අසමත් බව තීරණය වෙනවා. ඇමැතිවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් හැසිරවිය යුතුයි. ලැබූ ජයග්‍රහණය විශාල වගේම ජයග්‍රහණය පවරා ඇති වගකීමේ බර ඒ හා සමානයි. ඒ වෙනුවෙන් සියලු දෙනා එකට වැඩ කළ යුතුයි.
මෙම නව පරිවර්තනය සඳහා අපේ රටේ ජනතාව උද්යෝගයෙන් සහ උනන්දුවෙන් සහභාගී වූ බව අපි කවුරුත් දන්නවා. ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම නිරන්තරයෙන් වෙළී තිබුණේ උතුරට එරෙහි දකුණේ දේශපාලනයත්, දකුණට එරෙහි උතුරේ දේශපාලනයත් ලෙසයි. එසේ නැත්නම් එක් එක් ජන කණ්ඩායම් අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය කරන දේශපාලනයක්. නමුත් මෙම මැතිවරණයෙන් මුළුමනින්ම පෙන්නුම් කරන්නේ තවදුරටත් අපේ රටට බෙදීමේ දේශපාලනය වලංගු නොවන බවයි.
උතුරෙත්, දකුණෙත් නැඟෙනහිරත්, බටහිරත් පොදු ජනතාවගේ අභිලාශයන් එකම කේන්ද්‍රයකට ගොනු කර ගැනීම සඳහා මෙවර මහමැතිවරණය සමත්වී තිබෙනවා.
ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් ලබාදීම සඳහා උනන්දු වූ, වෙහෙස වූ ඒ සියලු ජනතාවට අප ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපට ඡන්දය ලබා නොදුන්නත්, වෙනත් දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය ලබා දුන්නත් අප අපේක්ෂා කරන මේ කාර්යයන් සහ අරමුණු ඔවුන්ගෙත් අරමුණු බවට පත්වන බව නිසැකයි. ලංකාවේ කිසිදු පුරවැසියෙකු බේදීමේ දේශපාලනය විශ්වාස කරනු ඇතැයි මම සිතන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ කිසිදු දේශපාලනඥයෙක් ප්රජාතන්ත්රවාදය හැකිළීම විශ්වාසය කරයි කියා මම සිතන්නේ නැහැ. මේ ආදී යහපත් දේ සෑම පුරවැසියකු තුළම ගැබ් වී තිබෙනවා. ඒ නිසා අපට ඡන්දය දුන් අය ඒ යහපත් දේ ඡන්දය හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඡන්දය නොදුන් ජනතාව තුළත් අප මේ අපේක්ෂා කරන අරමුණ තිබෙන බව අප දැඩි ලෙස විශ්වාස කරනවා.
මා දන්නවා මෙහි සිටින බොහෝ පිරිසක් තමාගේ තරුණ කාලයේ සිට මෙම සිහිනය සඳහා පොර බැදුවා. මෙම පොර බැදීමේදී තමන්ගේ කාලය, ශ්‍රමය පමණක් නොවෙයි, තමන්ගේ ජීවිතය පවා මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප කළා. ඒ විතරක් නොවෙයි ආරම්භයේ ඉතා දුෂ්කර අවස්ථාවලදී මෙම ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීමට අපි මැදිහත්ව සිටියා. ඇතැම් අය අතරමැද දමා ගියා. එසේ වුවත් අපට මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ආරම්භයේදී, අතරමැදදී, ඕනෑම අවස්ථාවකදී ඔවුන් අපට සහාය ලබා දී තිබෙනවා. එයත් මෙම ජයග්‍රහණයට විශාල පිටිවහලක් වී තිබෙනවා.
ඒ නිසා අපට ආකාර දෙකක වගකීමක් තිබෙනවා. එකක් පොදු ජනයාගේ අරමුණු සහ අපේක්ෂාවන් සඳහා තිබෙන වගකීම. දෙක ව්‍යාපාරයක් වෙනුවෙන් තිබෙන වගකීම. බලය කියන්නේ ඉතා විශේෂ දෙයක් කියා අප විශ්වාස කරනවා. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය බලය ප්‍රසාරණය කරනවා. බලය යළි යළි බලය වර්ධනය කරනවා. හැබැයි ඉතිහාසයේ දැක තිබෙනවා, ඒ වගේම ඇතැම් අය ප්‍රකාශ කරනවා බලය දූෂිතයි. අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි කියලා. ඇත්ත. බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි. ඒ බව ඔප්පු කර තිබෙනවා. අපේ රටේ අවස්ථාවන් කිහිපයක් මෙවැනි බලයන් නිර්මාණය වී තිබුණා. හැබැයි එම බලයන්ගේ අවසන් ප්‍රතිඵලය ගතහොත් ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙන දුන්නේ නැහැ. ඒ බලයන් හැමවිටම රටට, ජනතාවට අහිතකර ලෙස යෙදවූවා. ඇතැම් අය සිතන්න පුළුවන් අසීමිත බලයක් ලැබී තිබෙනවා. එම අසීමිත බලය අප කොතනට තල්ලු කරයිද කියන සැකය සමාජෙය් නිර්මාණය වී තිබුණා.
කුඩා හෝ සැකයක් තියෙන හැම දෙනාටම මම කියන්නේ අපිට බලය තියෙන එක ඇත්ත. හැබැයි අපි ඒ වගේම මේ බලයේ සීමා මායිම් සහ මේ බලය අපිට සෙල්ලම් කරන්න අපිට මේ බලය හසුරවන්න ලබාදී තිබෙන කොටුවේ ප්‍රමාණය අපි දන්නවා. අපි හැම දෙනාම තේරුම් ගත යුතුයි. බලය තිබෙනවා. හැබැයි ඒ බලයේ සීමා මායිම් අපට තිබෙනවා. ඒ වගේම ඒ බලයේ අරමුණක් තිබෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දෙන ලද යහපත් අරමුණු, අපේක්ෂා ඉටු කිරීම ඒ බලයට පැවරී තිබෙනවා.
ප්‍රධාන දේ මේ බලය වගකීම් සහිතයි. කාටද? එක් පැත්තකින් පුරවැසියන්ට වගකීම් සහිතයි. අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට වගකීම් සහිතයි. ඒ නිසා මම හිතනවා. අණපනත්වලින් ව්‍යවස්ථාවලින් භාවිතාවෙන් කුමන ආකාරයේ බලයක් අපට නිර්මාණය කරලා දුන්නත් මේ බලය අප හැසිරවීමේදී අපි වගවීමට ලක්විය යුතුයි. එක පැත්තකින් පුරවැසියන්ට අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට. අන්න එතනින් තමයි සියල්ල ගලවා වියුක්තව බලය හොබවන්න බැරි වෙන්නේ. අපට වගවීමක් තියනවා. බැඳීමක් තිබෙනවා. ඒ නිසා මම හිතනවා සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයකුට ඊටත් වඩා කැබිනට් ඇමැතිවරයකුට විශාල වගකීමක් තියෙනවා කියලා.
සැප්තැම්බර් 21 වැනිදා සහ නොවැම්බර් 14 වැනිදා අපි අදියර දෙකකින් සමත් වීමක් තිබෙනවා. ඊළඟට අපි සමත් වෙනවද නැද්ද කියා තීරණය කිරීමේදී ඔබගේ පංගුව විශාලයි. ඒ අපට මෙය සාර්ථකත්වයෙන් කෙළවර කළ හැකි වෙන්නේ ඔබ යහපත් ආණ්ඩුකරණය සඳහා දක්වන වගවීම සහ බැඳීමෙන් තමයි. ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු. ඒ වෙනුවෙන් අපි එක්ව හඬ නඟමු.
උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ