ජනපති ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලයට බානගල උපතිස්ස නාහිමියෝ සුබ පතති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලයට ජපානයේ ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියෝ සුබ පැතුම් එක් කරති.

ජනපති, අගමැති ඇතුළු නව ඇමැති මණ්ඩලයට සුබ පතමින් උන්වහන්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටිති.

එහි මෙසේ ද දැක්වේ.

“උතුර දකුණ ජන විශ්වාසය දිනා ගනිමින් දැවැන්ත ජන වරමක් ලබමින් තේරී පත්වූ ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අග්‍රාමාත්‍යතුමිය ඇතුළු අභිනව ඇමැති මණ්ඩලයට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා. විවිධ විෂය ක්ෂේත්‍රවල නිපුණ ශාස්ත්‍රාලීය ප්‍රවීණයන්ගෙන් මෙන්ම මහජනතාව සමඟ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළට ඔසවා තැබීමට ජන අරගලවලට නායකත්වය දුන් ජන නායකයන්ගෙන් සැදුම්ලත් මෙවර පත් වූ අග්‍රාමාත්‍යතුමිය ඇතුළු ඇමැති මණ්ඩලයට මේ රටේ මහජනතාවගේ ජීවන අපේක්‍ෂාවන් යථාර්ථයක් බවට පත්කිරීමට හැකි වේවායි සුබ පතනවා.‍ අපේ මාතෘ භූමිය සුවිශේෂී ජයග්‍රාහී සංවර්ධනයක් කරා ගෙන යෑමට, නව පිරිපුන් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කිරීමට තේරී පත් වූ නව රජයටත් අද සිය ඇමැති ධුරවල වගකීම් භාර ගත් සැමටත් තෙරුවන් සරණින් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාගේ රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

නව රජයේ ජන හිතවාදී කටයුතු ඉටු කර නිවැරදිව සාර්ථකත්වයට ගෙන යෑමට සියලු නිලධාරීන්ගේ සහ මහජනතාවගේ උපරිම සහයෝගය මේ රජයට දීම ජාතික යුතුකමක් බව අපි තරයේ අවබෝධ කර ගත යුතුයි.”