දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්
දෙමළ දේශපාලන පක්ෂවලින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින දෙමළ මන්ත්‍රීවරුන් සියලු දෙනාම එකම කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වන්නි දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ඊයේ (17) පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“21 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් තවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. මේ කණ්ඩායමට සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ ද සහාය ගැනීමට අපේක්ෂා කරනවා. දෙමළ මන්ත්‍රීවරුන් සන්ධානගත වීම පිළිබඳව පොන්නම්බලම් මන්ත්‍රීවරයා අතීතයේ සිටම කැමැත්තක් නොදැක්වීම නිසා මේ ප්රශ්නයේදී ඔහුගේ සහාය ගැනීමට වෙනම සාකච්ඡාවක් පවත්වනවා.”