මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය සනිටුහන් කරමින් දස වැනි පාර්ලිමේන්තුව සඳහා කාන්තාවන් 22 දෙනකු තේරී පත්ව තිබේ. ඒ අතරින් වැඩි පිරිසක් ජාතික ජන බලවේගය නියෝජනය කරති. මහජන නියෝජිත ආයතනවලට වැඩි කාන්තා නියෝජිතයන් ප්‍රමාණයක් පත්විය යුතුව ඇති බවට මත පළ වුවත්, පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් 13ට වඩා තේරී පත්වීමක් මෙතෙක් සිදු වූයේ නැත. ලංකා ඉතිහාසයේ පළමු කාන්තා නියෝජනය වාර්තාවන්නේ 1931 වසරේදීය. ඒ එවකට පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇඩ්ලින් මොළමුරේ මහත්මියයි. ඒ එකල රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණය ජය ගනිමිනි. ලෝක අවධානය ශ්‍රී ලංකාවට යොමු කරගනිමින් 1960 දී ලොව පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පත්වූවාය. ඉන් දශක ගණනාවකට පසුව මෙරට ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය ලෙස මන්ත්‍රීවරියන් 22ක් අභිනව පාර්ලිමේන්තුවට තේරීපත් වීම ඉතිහාසගතවේ.
මෙයින් එක් කාන්තා නියෝජනයක් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ඊයේ (17) නම් කර තිබිණි.
අවසන් වරට ක්‍රියාත්මක වූ 09 වැනි පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරියන් ගණන 12කි. 1989 සිට 2020 දක්වා පාර්ලිමේන්තු නියෝජනය කළ කාන්තාවන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගතහොත් ඒ කිසිදු අවස්තාවක 6%ට වඩා වැඩි වී නැත.
මෙරට වැඩිම කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුව ලෙස මෙතෙක් වාර්තා වී තිබුණේ 1989 සහ 2010 වර්ෂවල පත්කෙරුණු පාර්ලිමේන්තුය. එම පාර්ලිමේන්තුවලට මන්ත්‍රීවරියන් 13 දෙනකු බැගින් තේරී පත්ව තිබුණි.
මෙවර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය (655289), කෞශල්‍යා ආරියරත්න (80814), සමන්මලී ගුණසිංහ (59657) පාර්ලිමේන්තු වරම් හිමිකරගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ හේමාලි සුජීවා (66737), කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නිලන්ති කොට්ට හෙච්චි (131375), ඕෂනී උමංගා (69232), මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තුෂාරි ජයසිංහ(58223), තේරී පත්ව තිබේ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය චමින්ද්‍රාණී කිරිඇල්ල (30780) ද මෙවර පාර්ලිමේන්තුවට පත්ව ඇත. මාතරේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයෙන් දීප්ති වාසලගේ (47482), හා සමගි ජන බලවේගය නියෝජනය කරමින් රෝහිණි කුමාරි විජේරත්න (27945) පත්ව තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයෙන් අනුෂ්කා දර්ශනී තිලකරත්න (34035), ක්‍රිශ්නන් කලෙයිචෙල්වි (33346) ගාල්ල දිස්ත්‍රික්කයෙන් හසාරා ලියනගේ (82058) මාතර දිස්ත්‍රික්කයෙන් සරෝජා පෝල්රාජ් (148379), රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිලුෂා ලක්මාලි (48791), කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සාගරිකා ගංගානි (59019), දිගාමඬුල්ල දිස්ත්‍රික්කයෙන් මුතු රත්වත්තේ (32145), කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ගීතා හේරත් (84414), පුත්තලම දිස්ත්‍රික්කයෙන් හිරුණි මදුෂා විජේසිංහ( 44057), මොනරාගල දිස්ත්‍රික්කයෙන් චතුරි ගංගානි (42930) පාර්ලිමේන්තුවට පත්ව තිබේ.
ජාතික ජන බලවේගයෙන් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරී පත් වූ අම්බිගා සැමුවෙල් (58201) පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ වතු ජනතාව නියෝජනය කරමින් වීමද විශේෂත්වයකි.