දසවැනි පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෝ 150ක්-තෙදින වැඩමුළුවකුත් පවත්වයි

දසවැනි පාර්ලිමේන්තුව සඳහා නවක මන්ත්‍රීවරු 150ක් ඉක්මවා යන පිරිසක් පත්ව තිබේ. මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු වරම් හිමි කර ගත් 196 දෙනාගෙන් 146 දෙනෙක්ම නවක මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබති. මේ අතරින් බහුතර දෙනා ජාතික ජන බලවේගය නියෝජනය කරන අය වන අතර මෙවර මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 141 ක්ම ජාතික ජන බලවේගයට හිමි විය. එම ධුර අතරින් 130දෙනෙකුම නවක මන්ත්‍රීවරු වෙති.

ඒ අනුව නවක මන්ත්‍රීවරු වැඩියෙන් පත්වී ඇත්තේ ද ජාතික ජනබලවේගයෙනි.

සමගි ජන බලවේගයට මහජන ඡන්දයෙන් ලැබුණු මන්ත්‍රී ධුර 35න් 8 දෙනකු නවක මන්ත්‍රීවරු වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ද එක් නවක මන්ත්‍රීවරයකු බැගින් පත්ව තිබේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහජන නියෝජිතයන් අට දෙනාගෙන් සිව් දෙනකු නවකයෝ වෙති.

මීට අමතර ව ස්වාධීන කණ්ඩායම්වලින් තේරී පත්වූ සහ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කර ඇති නවක මන්ත්‍රීවරුන් ද සමඟ මෙවර පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් ගණන 150 ඉක්මවා යනු ඇත.

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ තෙදින වැඩමුළුවක් මෙම 25, 26 සහ 27 දිනවල පැවැත්වේ.

මහමැතිවරණයක් අවසන් වීමෙන් පසුව නවක මන්ත්‍රීවරුන්ට මෙ‍ලෙස වැඩමුළුවක් පැවැත්වීම සාම්ප්‍රදායිකව සිදුවේ.

ඒ අනුව එම වැඩමුළුව දසවැනි පාර්ලිමේන්තුව ආරම්භ වී මන්ත්‍රීවරු දිවුරුම් දීමෙන් පසුව මෙම වැඩමුළුව පැවැත්වේ.

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු ඊයේ (17) ආරම්භ වූ අතර නවක මන්ත්‍රීවරුන්ට අද (18) සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි වි‍ය හැකිය.

නවක මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වැනිදා සහ 20 වැනිදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුළු දෙකක් විවෘත කිරීමට ද පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත.