උතුරු ගාසා තීරයේ නේවාසික ගොඩනැඟිල්ලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

සිවිල් වැසියන් 72දෙනකු මියගිය බව පලස්තීනය කියයි

උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා නුවර නේවාසික ගොඩනැඟිල්ලකට එල්ල වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් සිවිල් වැසියන් 72 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයත් සමඟ ගොඩනැඟිල්ල බිමට කඩා වැටී ඇති අතර, සුන්බුන්වලට යටවූ පුද්ගලයන් සෙවීමට ගාසා තීරයේ සිවිල් ආරක්ෂක අංශවලට එම ස්ථානයට යෑම දුෂ්කර වී ඇති බැවින් මරණ ගණන ඉහළ යනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බෙයිට් ලහියා නුවරට මෙන්ම ඒ අවට පිහිටි බෙයිට් හානුන් සහ ජබේලියා නගරවලට ද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එම නගරවලට ප්‍රහාර එල්ල කිරීමට පෙර එහි පදිංචිකරුවන්ට නගරවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව දැනුම් දී ඇති බවත්, නැවත දැනුම්දෙනතුරු සිය නිවාස කරා නොපැමිණෙන ලෙස උපදෙස් දී තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාව නගරවාසීන් ඉවත් කරමින් ප්‍රහාර එල්ල කිරීම උතුරු ගාසා තීරයේ බලය ස්ථාපිත කරගැනීමේ අරමුණින් සිදුවන මෙහෙයුමක් බව ගාසා තීරයේ පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.