අසිත-තීක්ෂණ-වැන්ඩර්සේ ලකුණු 36කට කඩුලු 6ක් බිඳ හෙළති-ශ්‍රී ලංකාවට ලකුණු 210ක ඉලක්කයක්

කඩුලු 2ක් බිඳ හෙළූ අසිත ප්‍රනාන්දුට කණ්ඩායමේ සුබ පැතුම්. 

අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ හා ජෙෆ්රි වැන්ඩර්සේ එක්ව ලකුණු 36ක් තුළ දී කඩුලු 6ක් බිඳ හෙළා නවසීලන්ත මැද පෙළ හා පසු පෙළ සුනුවිසුනු කිරීමෙන් ප්‍රහාරාත්මක වේගය පල්ලම් බැස ගිය පසුබිමක දෙවැනි එක්දින තරගයේදී මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ශ්‍රී ලංකාවට ලකුණු 210ක ඉලක්කයක් ලබා දුන්නේය.

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති තරගය ආරම්භ වීමෙන් පසු ඕවර 9න් 9යට දෙවරක් වර්ෂාව ඇද හැලීම හේතුවෙන් එක් ඉනිමක් ඕවර 47කට සීමා කිරීමට විනිසුරුවෝ තීරණය කළ අතර, නවසීලන්ත පිල ඕවර 45.1කදී සියලු දෙනා දැවී ලකුණු 209ක් ලබා ගත්තේය.

මේ එක්දින තරගාවලියේදී පිට පිට දෙවැනි වරටත් කාසියේ වාසිය දිනාගත් නායක චරිත් අසලංක මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, නවසීලන්ත ඉනිම යම් තරමකට ගොඩ දැමූ මාර්ක් චැප්මන් පන්දු 81කදී හයේ 3ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 76ක් ලබා ගැනීමට සමත් විය. එය චැප්මන්ගේ පළමු එක්දින අර්ධ ශතකය ලෙස ඉතිහාසයට එක් වූ අතර, අසිත ප්‍රනාන්දු එවූ පන්දුවකට වේගයෙන් උඩින් එල්ල කළ පහර ‘ඩීප් මිඩ්විකට්’හි සිට ඉදිරියට දිවවිත් ගුවනේ පාවී අවිශ්ක ප්‍රනාන්දු උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙන් චැප්මන් ක්‍රීඩාගාරයට ගියේය.

චැප්මන් සමඟ 5 වැනි කඩුල්ලට පන්දු 78කදී ලකුණු 75ක සබඳතාවක් ගොඩනැඟූ අංක 6 පිතිකරු මිචෙල් හේ පන්දු 61කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 49කට දැවී යෑමෙන් සිය මංගල එක්දින අර්ධ ශතකය අහිමිවී ගියේය. නවසීලන්ත ලකුණු පුවරුව ඕවර 40.2 කදී කඩුලු 8කට ලකුණු 185ක් වූ අතර, අවසන් කඩුලු දෙක ලකුණු 10කට බිඳ වැටීමෙන් ඉනිම නිමා විය.

මේ තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු උඩ පන්දු 3ක් රැක ගැනීම විශේෂත්වක් වූ අතර, ඔහුගේ පන්දු රැකීම වෙනදාට වඩා දියුණු මට්ටමකට පැමිණ ඇති බව දක්නට ලැබිණි.

පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා පිල තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය කල් ඇතිව ජය ගැනීමේ අපේක්ෂාවෙන් පසු වේ. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මෙතෙක් පැවති එක්දින තරගවලදී 2012න් පසු ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් වසර 12ක් තිස්සේ දිනා නැත. තරග 103ක් දෙරට අතර පවත්වා එයින් 52ක් නවසීලන්තය හා 42ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර, විසඳුමක් නැති තරග 8ක් හා ලකුණු සමවූ තරගයක් වාර්තා පොතේ සඳහන්ව තිබේ.

නවසීලන්තය

විල් යංග් ස්ට.කුසල් ප.වැන්ඩර්සේ 26

ටිම් රොබින්සන් ප.වෙල්ලාලගේ 4

හෙන්රි නිකොල්ස් ප.තීක්ෂණ 8

මාර්ක් චැප්මන් ඇ.අවිශ්ක ප.අසිත 76

ග්ලෙන් පිලිප්ස් ඇ.අවිශ්ක ප.අසලංක 15

මිචෙල් හේ ඇ.කුසල් ප.තීක්ෂණ 49

මයිකල් බ්‍රේස්වෙල් ඇ.අවිශ්ක ප.අසිත 0

මිචෙල් සැන්ට්නර් ඇ.නිශ්ශංක ප.වැන්ඩර්සේ 6

නෙතන් ස්මිත් ක.මු.ක. ප.වැන්ඩර්සේ 0

ඉෂ් සෝධි ස්ට.කුසල් ප.තීක්ෂණ 9

ජෙකොබ් ඩර්ෆි නොදැවී 4

අතිරේක 12

එකතුව සියල්ලන් දැවී (ඕවර 45.1) 209

කඩුලු බිඳ වැටීම: 1-9, 2-31, 3-69, 4-98, 5-173,

6-173, 7-185, 8-185, 9-199, 10-209

පන්දු යැවීම: අසිත 7-0-37-2, වෙල්ලාලගේ 8-0-46-1,

තීක්ෂණ 9.1-0-31-3, ලියනගේ 3-0-18-0,

වැන්ඩර්සේ 10-0-46-3, අසලංක 8-0-29-1.