අරුසු කච්චි ලැයිස්තු ධුරයක් පැරදුණු දොස්තර සත්‍යලිංගම්ට-තීරණය ගැන ඇතුළෙන් ප්‍රශ්න

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයට වෙන් වූ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් මෙවර මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව පරාජයට පත් වූ එම පක්ෂයේ මහ ලේකම් පී. සත්‍යලිංගම් වෛද්‍යවරයාට දීමට දේශපාලන කමිටුව 17 දා තීරණය කිරීමත් සමඟම යළිත් එම පක්ෂය තුළ අර්බුදයක් මතු වී තිබේ.

එම පක්ෂයේ දේශපාලන කමිටුව වවුනියාවේ පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මේ තීරණය ගත් අතර, මේ දේශපාලන කමිටු සාකච්ඡාවට විරෝධය පළ කරමින් පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මහතා සහභාගි නොවීය. මෙවර මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ පී. සත්‍යලිංගම් වෛද්‍යවරයා මනාප 5,575ක් ලබා 6 වැනි ස්ථානයට පත් වූ අතර 9 දෙනකු ඉදිරිපත් වූ ලයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වූයේ එක් අයකුට පමණි.

සත්‍යලිංගම් වෛද්‍යවරයා 6 වැනි ස්ථානයට පත්ව සිටියත්, ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ දේශපාලන කමිටුව ඔහුට මන්ත්‍රී ආසනයක් ජාතික ලයිස්තුවෙන් දීමට තීරණය කොට ඇත. මේ මන්ත්‍රී ආසනය සඳහා යාපනයෙන් තරගවැදී පරාජයට පත් එම්.ඒ. සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූවත් එම යෝජනාවට ඉඩක් නොලබිණි. ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ නායකයා වශයෙන් එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා තේරී පත්වීමෙන් පසුව සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊට එරෙහිව නඩුවක් ගොනු කොට ඇති අතර, ජාතික මට්ටමේ මන්ත්‍රී ධුරය ඔහුට දීමට නම් එම නඩුව ඉල්ලා අස් කරගන්නා ලෙස පක්ෂය තුළින් යෝජනාවක් ඉදිරිපත් විය. මේ යෝජනාවට සුමන්තිරන් මන්ත්‍රීවරයා කැමැත්තක් නොදැක්වීම නිසා ඔහු වෙනුවට පී. සත්‍යලිංගම් වෛද්‍යවරයාට ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය දීමට පක්ෂයේ දේශපාලන කමිටුව වවුනියාවේදී රැස් වූ අවස්ථාවේ තීරණය කොට තිබේ. ඒ තීරණය ප්‍රකාශයට පත් කළේ හිටපු මන්ත්‍රී සුමන්තිරන් මහතා විසින්ම වීම තවත් විශේෂ සිද්ධියක් විය.