ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය හිමිකරගත් මනාප ප්‍රමාණයට වඩා මෙවර මහමැතිවරණයේ දී මනාප සංඛ්‍යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත.
ජනාධිපතිවරණය අවසන්ව දින 54ක් වැනි කෙටි කාලයක් තුළ ජාතික ජන බලවේගය ජනතාවගේ විශ්වාසය පෙරට වඩා ශක්තිමත් කර ගැනීමට සමත්ව ඇති බව ඒ අනුව පෙනී යයි.
ජාතික ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් ව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් ඡන්ද 5,634,915ක් ලබාගත් අතර මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය ලබාගත් මනාප ගණන 6,863,186කි.
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි. එවර මැතිවරණයේදී සමගි ජන බලවේගය මනාප 4,363,035ක් ලබා ගත්ත ද මෙවර මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට හිමිවන්නේ මනාප 1,968,716ක් පමණි. ඒ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරණය අවසන්ව දින 54ක් වැනි කෙටි කාලයක් තුළ සමගි ජන බලවේගයේ ඡන්ද පදනම 2,394,319කින් අඩුවී ඇති බවය. සමගි ජන බලවේගය විශාල වශයෙන් පසුබෑමකට ලක්ව ඇති බව ඒ අනුව පෙනී යයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙනි. ජනාධිපතිවරණයේදී මනාප 2,299,767ක් මෙම පක්ෂයෙන් තරග කළ රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත්ත ද මෙවර මහමැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිවන්නේ මනාප 500,835ක් පමණි. ජනාධිපතිවරණයේදී ලබාගත් මනාප සංඛ්‍යාව හා සැසඳීමේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මනාප ප්‍රමාණය දින 54ක් වැනි කෙටි කාලයක් තුළ 1,798,932කින් අඩුවී ඇත්තේ එම පක්ෂය ද විශාල පසුබෑමකට ලක් වෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට තරග කළ නාමල් රාජපක්ෂ මහතා මනාප 342,781ක් ලබාගත්තේය. මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මනාප 350,429ක් ලබාගෙන ඇත. ජනාධිපතිවරණයට සාපේක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මනාප 7,648කින් සුළු වැඩිවීමක් මහමැතිවරණයේදී ළඟාකර ගැනීමට සමත්ව ඇතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු 2019 ජනාධිපතිවරණයේදී සිය පක්ෂය ඉදිරිපත් කළ කුලුඳුල් අපේක්ෂකයා වූ ගෝඪාභය රාජපක්ෂ මහතා ඡන්ද 6,924,255ක් ලබාගෙන ජනාධිපති ධුරයටත්, මහමැතිවරණයේදී ඡන්ද 6,853,693ක් ලබාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිකර ගත් පක්ෂයක් මේ තැනට වැටී ඇති බව අමතක නොකළ යුතුය.
2019 වසරේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයෙක් ලෙස සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්වී ඡන්ද 5,564,239ක් ලබාගත්තත් 2020 මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට හිමිකර ගැනීමට හැකියාව ලැබෙන්නේ ඡන්ද 2,771,984ක් පමණි.
2019 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය සිය කුලුඳුල් අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කරන අතර එහිදී ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඡන්ද 418,553ක් පමණි. 2020 මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට හිමිවන්නේ ඡන්ද 445,958කි. මෙවර මහමැතිවරණයේදී ලක්ෂ 68කට වැඩි මනාප ප්‍රමාණයක් ජාතික ජන බලවේගය හිමිකර ගන්නේ මෙයට පෙර අවසානයට ඉදිරිපත්වූ මහමැතිවරණයේ ලබාගත් ලක්ෂහතරහමාරකට ආසන්න මනාප ප්රමාණයජනතා විශ්වාසය තුළින් තවත් ඉහළ නංවා ගැනීමට සමත්වීම හේතු වෙනි.