රටේ මහ ජනතාවගෙන් 14 වැනිදා මහා ශ්‍රමදානයට එකතු වෙන්න කියා කළ ඉල්ලීමට අපේ රටේ ජනතාව උදලු කැති අරන් නොවේ ඩෝසර්ම කර මේ රටේ ශ්‍රමදානය හරියටම කර තිබෙන බවත් ලබා දුන් අති විශිෂ්ට ජයග්‍රහණයට ජාතික ජන බලවේගය ලෙස ගෞරවය පුද කරන බවත් ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
ජාතික ජන බලවේගය ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව ඊයේ (15) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසීය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් මෙසේද සඳහන් කළේය.
මේ රටේ ජාතික ජන බලවේගයේ ආරාධනය විශ්වාස කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රට ගොඩනඟන වැඩපිළිවෙළට අත්වැල් බැඳ ගන්නා ලෙස කළ ආරාධනයට, මාලිමාවේ පුනරුද වැඩපිළිවෙළ සමඟ අත්වැල් බැඳගත්ත මේ අතිවිශිෂ්ට ජයග්‍රහණයට දායක වෙච්ච මේ රටේ පොදු මහජනතාවට ජාතික ජන බලවේගය ලෙස අපි අපේ ගෞරවය පුද කරනවා.
අපි ජනතාවට කිව්වා දාහතර වැනිදා මහා ශ්‍රමදානයට එකතු වෙන්න කියලා අපේ රටේ ජනතාව ශ්‍රමදානය හරියටම කරලා තියෙනවා. එය උදලු කැති අරන් නොවේ ඩෝසර්ම අරන් පිරිසුදු කිරීමේ ශ්‍රමදානය හරියටම කරලා තියෙනවා. පාර්ලිමේන්තුව එකසිය හැටකට ආසන්න ප්‍රමාණයකින් පුරවලා තිබෙනවා. එය මේ රටේ ජනතාවගේ උවමනාවයි. ඒ බව උතුරෙන් පෙන්නලා තිබෙනවා. ජාතිවාදය නොවේ මේ රටට අවශ්‍ය වන්නේ කියා, නැඟෙනහිරින් හා වතුකරයෙන්ද පෙන්වා දී තිබෙනවා. රට හැම තැනින්ම පෙන්වා දී තිබෙනවා. එක රටක මිනිස්සු හැටියට ජීවත් වෙන්න අවශ්‍යයි කියන පණිවිඩය අපිට පෙන්නලා දී තිබෙනවා.
ඒ නිසා මේ එකතු වෙච්ච සමස්ත මහජන ජනතාව මේ පෙන්නපු පණිවිඩය ජාතික ජන බලවේගය ලෙස අපි තේරුම් අරගෙන මේ රටේ අනාගත පරම්පරාවට දියුණු රටක් ලෙස භාරදීමට අපගේ පුනරුද වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නට පාර්ලිමේන්තුව තුළ වැඩ කරන්නට අපි කටයුතු කරනවා.
ජනතාව ජනතාවගේ යුතුකම් ඉටු කළා සේම අපි හදන ආණ්ඩුව අපේ යුතුකම් ඉටු කරනවා. දහඅට (18) වැනිදා කැබිනට් මණ්ඩලය පත්වී (21) වැනිදා පාර්ලිමේන්තුව රැස් කරනවා. ඉන් පසුව අපි ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කිරීමටත් කටයුතු කරන බව වසන්ත සමරසිංහ මහතා වැඩි දුරටත් පැවැසිය.