ජාතික ජන බලවේගය ඡන්ද – 6,863,186ක් – මන්ත්‍රී ධුර 159ක්
සමගි ජන බලවේගය ඡන්ද – 1,968,716ක් – මන්ත්‍රී ධුර 40ක්
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය ඡන්ද – 500,835ක් – මන්ත්‍රී ධුර 05ක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද –350,429ක් – මන්ත්‍රී ධුර 03ක්
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තා රැසක් පිහිටුවමින් ජාතික ජන බලවේගය මෙවර මහමැතිවරණයෙන් ඡන්ද 6,863,186ක් ලබා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉක්මවා යන බහුතර බලයක් සමඟ ඓතිහාසික ජයග්‍රහණයක් දිනා ගැනීමට සමත් වී තිබේ. ජාතික ජන බලවේගය ප්‍රතිශතයක් ලෙස සියයට 61.56ක ජයග්‍රහණයක් හිමිකර ගත් අතර දිස්ත්‍රික්ක මට්ටමින් 141 ක් හා ජාතික ලැයිස්තුවෙන් 18 ක් වශයෙන් මන්ත්‍රී ධුර 159 ක් දිනා ගෙන ඇත. ජාතික ජන බලවේගය මෙවර වාර්තා රැසක් පිහිටුවමින් මෙම ජයග්‍රහණයට හිමිකම් කියූ අතර තනි පක්ෂයක් ලෙස මෙසේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉක්මවා යන බහුතර බලයක් ලබා ගැනීමට ජාතික ජන බල වේගයට හැකියාව ලැබීම ඉන් විශේෂත්වයකි.
ජාතික ජන බලවේගය මෙවර ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙතෙක් මහමැතිවරණයකදී පක්ෂයක් ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය වේ. මින් පෙර 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 60.33 ක ප්‍රතිශතයක් ලබා ගෙන තිබිණි.
එමෙන්ම මහමැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණන හිමි කර ගැනීමට ද ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණු අතර එම වාර්තාව මින් පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 වසරේදී තැබූ අතර ඒ ආසන 136කි.
එමෙන්ම මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන ද මෙවර ජාතික ජන බලවේගය දිනා ගත් අතර එය දිස්ත්‍රික්ක 21කි. මින් පෙර එම වාර්තාව ද තබා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වන අතර ඒ දිස්ත්‍රික්ක 19 ක් වශයෙනි.
එමෙන්ම මහමැතිවරණයකදී ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන්නේ ද මෙවර ජාතික ජන බලවේගය දිනා ගනු ලැබූ ඡන්ද 6,863,186 ප්‍රමාණය වේ. මීට පෙර එය 2020 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තැබූ වාර්තාවක් වන අතර ඒ ඡන්ද 6853960ක් වශයෙනි.
එමෙන්ම දිස්ත්‍රික්ක මට්ටමින් දිනා ගත් වැඩිම මන්ත්‍රී ධුර ගණනට හිමිකම් කියන්නේ ද ජාතික ජන බලවේගයයි. මෙවර ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රී ධුර 141 ක් හිමි කර ගෙන තිබේ. මින් පෙර ඒ වාර්තාව තබා ඇත්තේ 2020 වසරේදී ආසන 128 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
එමෙන්ම මහමැතිවරණයකදි ජයග්‍රහණය කළ වැඩිම මන්ත්‍රී ධුර ගණන ලෙස මන්ත්‍රී ධුර 159 ක් ලබා ගෙන වාර්තාවක් පිහිටුවීමට ද ජාතික ජනබලවේගය සමත්ව තිබෙන අතර මින් පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 145ක් ජයග්‍රහණය කර තිබිණි.
එමෙන්ම සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් තනි පක්ෂයක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වන අතර එම වාර්තාව තැබීමට ද ජාතික ජන බලවේගය මෙවර සමත්ව තිබේ.
එමෙන්ම සියයට 3ක මනාප ප්රතිශතයක සිට ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතරම් වාර්තා තබමින් මහමැතිවරණයක් ජයග්‍රහණය කළ පක්ෂය වන්නේ ද ජාතික ජන බලවේගයයි.
මෙවර මහමැතිවරණයේදී සමගි ජන බලවේගය ඡන්ද 1,968,716ක් ලබා ගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ක් සමඟ සමස්ත මන්ත්‍රී ධුර 40ක් හිමි කර ගෙන තිබේ. සමගි ජන බලවේගය ලැබූ සමස්ත ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සියයට 17.66ක් වේ.
එමෙන්ම තෙවැනි ස්ථානයට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් දිනා ගැනීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සමත් වී ඇති අතර එම පක්ෂය ඡන්ද 257,813ක් හිමි කර ගෙන තිබේ. එම පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද ඇතුළුව මන්ත්‍රී ධුර 8ක් හිමි කර ගැනීමට සමත්ව ඇත.
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය හිමි කර ගත් ඡන්ද සංඛ්‍යාව 500,835ක් වන අතර හිමි කර ගෙන ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකත් ඇතුළුව මන්ත්‍රී ධුර 5කි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් දිනා ගනිමින් මන්ත්‍රී ධුර 3කට හිමිකම් කියන අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර තුනක් හිමි කරගෙන ඇති අතර ඉන් එක් ධුරයක් ජාතික ලැයිස්තුවෙන් හිමි කරගෙන තිබේ.
සර්වජන බලය ඡන්ද 178,008ක් ලබාගෙන එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දිනා ගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂය ද 66,234ක් ඡන්ද ලබා එක් මන්ත්‍රී ධුරයක් දිනා ගෙන තිබේ. මීට අමතරව ප්රජාතන්ත්රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්ද 66,382ක්, අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය ඡන්ද 39,894ක්, අඛිල ඉලංකෙයි මක්කල් කොංග්‍රසය ඡන්ද 33,911ක්, යාපනය ස්වාධීන කණ්ඩායම 17 ඡන්ද – 27,855ක්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඡන්ද 17710ක් ද, වශයෙන් ලබා ගෙන එක් මන්ත්‍රී ධුරයක් බැගින් හිමි කරගෙන තිබේ.
මෙවර මහමැතිවරණයේදී ලියාපදංචි ඡන්ද දායකයන් 17,140,354 දෙනකුගෙන් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 11,815246 දෙනකු එනම් ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 68.93ක ප්රතිශතයකි.
එසේ ප්‍රකාශිත මනාප අතරින් 667,240 ක් ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව මෙවර මැතිවරණයේ වලංගු ඡන්ද සංඛ්‍යාව වන්නේ 11,148,006කි.