සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට (17) දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා පිල අද පිටියට පිවිසෙන්නේ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය කල් ඇතිව ජය ගැනීමේ අපේක්ෂාවෙනි.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මෙතෙක් පැවති එක්දින තරගවලදී 2012න් පසු ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් වසර 12ක් තිස්සේ දිනා නැත. තරග 103ක් දෙරට අතර පවත්වා එයින් 52ක් නවසීලන්තය හා 42ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර, විසඳුමක් නැති තරග 8ක් හා ලකුණු සමවූ තරගයක් වාර්තා පොතේ සඳහන්ව තිබේ.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක්දින තරග 10න් 7ක් දිනා ප්‍රබල තත්ත්වයක සිටියදී මෙම තරගයට එක්වේ. එහිදී ප්‍රබල ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය යන රටවල් පරාජය කොට තරගාවලි ජයග්‍රහණ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ සමඟ ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලි 4ක් පිට පිට ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ තරගාවලියේ වැඩි වාසි ලබා ගැනීමේ සූදානමින් පසුවෙති.
පළමු එක්දින තරගයේදී කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු යුගලය ශතක රැස් කිරීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ඕවර 49. 2කදී කඩුලු 5ක් දැවී ලකුණු 324ක් වූ අතර, ඇද හැලුණු වර්ෂාවෙන් පසු ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ නවසීලන්තයට ඕවර් 27ක් තුළදී ලකුණු 221ක ඉලක්කයක් ලැබුණද, ඔවුන් ලකුණු 175කට සීමා විය.
ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ යහපත් ස්ථාවරයක සිටීම පළමු එක්දින ක්‍රිකට් තරගයේදී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමකි. එක්දින ඉනිම 21කට පසු ශතකයක් වාර්තා කළ කුසල් තම එක්දින දිවියේ හොඳම ඉනිම වාර්තා කරමින් පන්දු 128කදී හයේ පහර 2ක් හා හතරේ පහර 17ක් සමඟ ලකුණු 143ක් ලැබූ අතර,රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු වාර්තාව ද සතු කර ගත්තේය. අවිශ්ක පන්දු 115කදී හයේ පහර 2 හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 100ක් ලබා ගැනීම ද ශ්‍රී ලංකා පිල ස්ථාවර තත්ත්වයකට රැගෙන ආවේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තණතීරුව පිත්ත සහ පන්දුව අතර මනා සමබරතාවක් ඇති කරමින් ක්‍රියාත්මක වන අතර, විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගත හැකි තණතිල්ලකි. මෙම ක්‍රීඩා පිටියේදී පැතුම් නිස්සංක ද්විත්ව ශතකයක් ලබාගෙන ඇති අතර ඔහු අද දිනයේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසේ.
දඟපන්දු යවන්නන්ට සහ වේග පන්දු යවන්නන් දෙවර්ගයටම තණතිල්ල උපයෝගි කර ගත හැකි අතර, බිඳ වැටුණු කඩුලුවලින් සියයට 59ක් දඟ පන්දු යවන්නන් විසින් දවාගෙන ඇති අතර, ඉතිරි කඩුලුවලින් සියයට 41ක් වේග පන්දුවල ගොදුරු වී ඇත.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට ගිගුරුම් සහිත වැස්සක් පුරෝකථනය කර ඇති නිසා තරගය අතරතුර වර්ෂා බාධා අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ සම්භාවිතාව 21%ක් පමණ දැක්වෙන අතර, වර්ෂාපතනයේ සම්භාවිතාව 72%ක් බව පෙන්වා දී තිබේ. කාලගුණ අනාවැකි අනුව ක්‍රීඩාව අතරතුර වර්ෂාපතනයට සුළු සම්භාවිතාවක් ඇති අතර, එයින් සුළු බාධාවක් ඇති විය හැකි බවට අනාවැකි පළ වේ.