තනි දේශපාලන පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය ලබාගත් ජයග්‍රහණය නව දේශපාලන පරිවර්තනයක් බවත් එය පක්ෂයේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවත් ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තුළ විශේෂත්වයන් ගණනාවක්ම තිබෙන බව ද ඒ අනුව ප්‍රධාන වශයෙන්ම මෙතුවක් කල් තට්ටු මාරු ක්‍රමයක් ලෙස රටේ පැවතුණු කොළ කඳවුර සහ නිල් කඳවුර බිඳවැටුණ බවත් සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මහමැතිවරණ ජයග්රහණයෙන් පසු බදුල්ලේදී ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා
“මේ අපි ලබපු ඓතිහාසික ජයග්‍රහණයක්. ලංකාවේ දේශපාලනයේ නව යුගයක් ආරම්භ වුණා. අවුරුදු 76ක තිබුණු දේශපාලනය අවසන් කරලා නව සමාජ පෙරළියක් සිදු වුණා. අවුරුදු 76ක් තට්ටු මාරු දේශපාලන ක්‍රමයක් තමයි පවත්වාගෙන ආවෙ. දැන් අපි මහජන දේශපාලනයක් තමයි දකින්නෙ. ජනතාවාදී දේශපාලනයක ආරම්භයක් සිදු වුණා. ඒක පසුගිය සැප්තැම්බර් 21 ක් වැනිදා ජනාධිපතිතුමා තේරී පත්වීමෙන් ආරම්භ වෙලා පෙරේදා (14) පවත්වපු මහමැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ද සහිතව ජනතාවාදී දේශපාලනය ජයග්‍රහණය කළා. ඒ සම්බන්ධව අපි අවංකව සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ ජයග්‍රහණයේ විශේෂත්වයන් ගණනාවක්ම තිබෙනවා. මෙතුවක් කල් තිබුණු බලකඳවුරු ගණනාවක්ම බිම වැටී තිබෙනවා. රටේ ප්‍රධාන කොළ කඳවුර සහ නිල් කඳවුර වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඳවුර බිඳවැටුණා.
ඒ වගේම උතුරේ ගත්තත් ද්‍රවිඩ සන්ධානය සැලකිය යුතු පසුබෑමකට ලක්වුණා. වතුකරයේ ගත්තත් දිගම්බරම්ලගෙ, තොණ්ඩමන්ලගෙ කඳවුරු බිඳවැටුණා. නැඟෙනහිර ගත්තත් හකීම්ලගෙ, අතාවුල්ලගෙ කඳවුරු බිඳ වැටුණා. නව දේශපාලන පරිවර්තනයක් තමයි සිදු වුණේ. සන්ධාන නැතිව තනි දේශපාලන පක්ෂයක් ලෙස ජනතාව එකතු කර ගත් ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේක පෞද්ගලිකව අපි ලැබූ ජයග්‍රහණයක් නෙමෙයි ජනතාව ලැබූ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය තුළ ගැඹුරු බොහෝ දේවල් තිබෙනවා. අර්ථයක් තිබෙනවා. පැරණි දේශපාලනය මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ නැහැ. දේශපාලනයේ නව පෙරළියක් සහ නව වෙනසක් ජනතාව බලාපොරොත්තු වෙනවා. ආර්ථිකයේ වුණත් නව ගමනක් බලාපොරොත්තු වෙනවා. සමාජය වුණත් නව ගමනක් බලාපොරොත්තු වෙනවා. ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්රකාශනය යටතේ ඒ දේ අපි තහවුරු කරලා තිබෙනවා.
ඒ ප්‍රතිපත්තියට තමයි මේ රටේ ජනතාව අපිට වරමක් දීලා තිබෙන්නෙ. අපි ඒ ප්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක කරනවා. මානවවාදී සමාජ ක්‍රමයක්, සමාජ ආර්ථිකයක් සහ දේශපාලන ක්‍රමයක් මේ රටේ ස්ථාපිත කරලා නව ගමනක් අපි යන්න සූදානම් වෙනවා. මොකද අවුරුදු 76 ක විට එන විශාල ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ දේවල් ක්‍රමානුකූලව විසඳන්න ඕනෙ. බෙදී, වෙන්වී මැතිවරණ කරපු කාලය දැන් ඉවර වුණා. ජනාධිපතිවරණයත් ඉවරයි. මහමැතිවරණයත් ඉවරයි. අපි ඔක්කොම එකතු වෙලා, සමගි වෙලා රට ගොඩ නඟන කාලයයි දැන් එළඹිලා තිබෙන්නෙ. අපි තනතුරු, තානාන්තර බලාගෙන ආපු ගමනක් නෙමෙයි. අපේ දේශපාලන ඉතිහාසයෙන් ඒ බව දැන ගන්න පුළුවන්. මගේ ජීවිතයේ පරාජයට පත්වීම් තමයි වැඩි අවස්ථා ගණනාවක්ම තිබිලා තිබෙන්නෙ. ඒ දේවලුත් අපි පරාජයන් ලෙස භාර ගත්තෙ නැහැ. ඒ දේවල් හමුවේත් අපි අපේ කාර්යයභාරය රට වෙනුවෙන් කළා. හෙට දවසේ පක්ෂය පවරන්නේ මොකද්ද ඒ වගකීම ඉෂ්ට කරන්න අපි සූදානම්. තනතුරු, තානාන්තර, මිල මුදල් බලාගෙන ආපු ගමනක් නෙමෙයි.