අපට දුන් බලය ජනතා අපේ­ක්ෂා­වන් ඉටු­කි­රී­මට පාවිච්චි කර­නවා-ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

උතුරේ ජන­තාව තැබූ විශ්වා­සය රකි­නවා

දැන් තිබෙන්නේ පොදු ජන­තා­වගේ දේශ­පා­ල­න­යක්

මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ලබා­දුන් බලය ජන­තා­වගේ අපේක්ෂා ඉටු­කි­රී­මට පාවිච්චි කරන බවට සහ­තික වන බව ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැව­සීය.

විශේ­ෂ­යෙන්ම උතුරේ ජන­තාව ඉති­හා­සයේ පළමු වැනි වතා­වට අනෙක් ප්‍රදේ­ශ­ය­කින් ඉදි­රි­පත් වූ නාය­ක­යකු ගැන විශ්වා­සය තබා තිබෙන බවද ප්‍රධාන ලේක­ම්ව­රයා කීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ, ඊයේ (15) බත්ත­ර­මුල්ල, පැල­වත්තේ පිහිටි ජනතා විමුක්ති පෙර­මුණු ප්‍රධාන කාර්යා­ලයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමිනි.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා –

ජාතික ලැයි­ස්තුව තුළ නොසි­ටින ආණ්ඩු­ක­ර­ණ­යට අත්‍ය­ව­ශ්‍යම අය සිටි­නවා නම්, ඒ පිළි­බ­ඳව සලකා බලන්න සිදු වෙනවා. ඒ සම්බ­න්ධව අව­සන් තීන්දු­වක් තවම අර­ගෙන නැහැ. රටේ ජන­තා­වට ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට කලින් ප්‍රති­පත්ති මාලා­වක් ඉදි­රි­පත් කළා. ඒක ඉටු­කි­රීම අපේ වග­කීම. ඒ ප්‍රති­පත්ති මාලාවේ නව ව්‍යව­ස්ථා­වක් හදන එක, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තහ­වුරු කරන එක, රටේ විවිධ ජන කණ්ඩා­ය­ම්ව­ලට අයි­ති­වා­සි­කම් දෙන එක, විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කරන එක ආදී කරුණු ගණ­නා­වක් තිබෙ­නවා. අපි ඒ නව ව්‍යව­ස්ථාව පාර්ලි­මේ­න්තු­වෙන් පම­ණක් නොවෙයි ජන­මත විචා­ර­ණ­ය­කින්ද සම්මත කර ගන්න සූදා­නම්. අපේ පාලන කාලය තුළ ජන­තා­වට ඉදි­රි­පත් කළ ප්‍රති­පත්ති ප්‍රකා­ශය ක්‍රියා­වට නැඟී­මට පොරොන්දු වෙනවා. මහ­මැ­ති­ව­ර­ණ­යේදී ජන­තාව දේශ­පා­ල­නයේ පිරි­සිදු කිරී­මක් කළා. ඒක තවත් ඉදි­රි­යට යා යුතුයි. අපි ජාතික ජන බල­වේ­ගය ලෙසයි උතුරේ, නැඟෙ­න­හිර, කඳු­ක­රයේ ඡන්දය ඉල්ලුවෙ. අපි ඒ පළා­ත්වල කිසිදු දේශ­පා­ලන කණ්ඩා­ය­මක් සමඟ සම්බ­න්ධ­ක­මක් හදා­ගත්තෙ නැහැ. උතුරේ සාම්ප්‍ර­දා­යික දේශ­පා­ලන කණ්ඩා­යම් අපට එරෙ­හිව දේශ­පා­ලන මත ගෙන­ගියා. අනුර සහෝ­ද­රයා සහ­භාගි වූ රැලි­යෙන් පසුව උතුරේ ඇතැම් දේශ­පා­ලන කණ්ඩා­ය­ම්වල නාය­කයො කීවා අපි උතු­රට, දකුණේ සිට බස්ව­ලින් ජන­තාව අර­ගෙන ගියා කියල. ඔවුන් ජාති­වා­දය පාවිච්චි කළා. දැන් ඒ ගොල්ලන්ට බලා­ගන්න පුළු­වන් මෙම මහ­මැ­ති­ව­ර­ණ­යේදී අපට උතු­රේදී ඡන්දය දුන්නෙ දකු­ණෙන් ගිය ජන­තා­වද කියා. අපේ ජය­ග්‍ර­හ­ණය මේ 159ම නොවෙයි. උතුරු ප්‍රදේ­ශයේ හොඳ ජය­ග්‍ර­හ­ණ­යක් ලබා තිබෙ­නවා. අප එම ජන­තා­වගේ විශ්වා­සය දිනා­ගෙන තිබෙ­නවා. එය රකි­නවා. අප උතුරේ ජන­තා­වට ස්තුති­වන්ත වෙනවා.

13 සංශෝ­ධ­නය පිළි­බ­ඳව අපේ ස්ථාව­රය අපේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ ඉදි­රි­පත් කර තිබෙ­නවා. මෙම සංශෝ­ධ­න­යෙන් බලා­පො­රොත්තු වූ දේ ඉටු­වෙලා නැහැ. පළාත් සභා පැමි­ණියා. මෙය තිබු­ණද දෙමළ ජන­තා­වගේ ගැටලු තවම පව­ති­නවා. පළාත් සභා ව්‍යුහ­යක් ලෙස සාර්ථක වෙලා නොවෙයි තිබෙන්නෙ. මීට වඩා දමිළ ජන­තා­වගේ, උතුරේ ජන­තා­වගේ අයි­ති­වා­සි­කම් රැකෙන යන්ත්‍ර­ණ­යක් අප නිර්මා­ණය කර­ගත යුතුයි. පළාත් සභා අපට අහෝසි කරන්න බැහැ. දමිළ ජන­යාට යම්කිසි සහ­න­යක් මෙම­ඟින් ලැබෙ­නවා. පළාත් සභා අප අහෝසි කරන්නෙ නැහැ, එයට වඩා දමිළ ජන­තා­වට සාධා­රණ විස­ඳු­මක් ඉදි­රි­පත් කර ගන්නා තුරු. අප ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු අලුත් දේශ­පා­ලන සංස්කෘ­ති­යක් නිර්මා­ණය කරන්න පටන් ගත්තා. දැන් එය ඉදි­රි­යට යනවා. සම­හර දේ සිදු කිරී­මට අපට පාර්ලි­මේන්තු බල­යක් අව­ශ්‍යයි. 21 දින පාර්ලි­මේ­න්තුව රැස් වෙනවා කියා අද­හස තිබෙ­නවා. ආයෝ­ජ­ක­ය­න්ගෙන් කප්පම් ඉල්ලන, පගා ඉල්ලන ඇමැ­ති­වරු, මන්ත්‍රී­වරු සිටියා. මෙත­නින් පසුව එවැනි අය නැහැ. ඒ නිසා දේශීය, විදේ­ශීය ආයෝ­ජ­ක­යන්ට නිද­හසේ තම ව්‍යාපාර අර­ඹන්න පුළු­වන්.

ඇමැති මණ්ඩ­ලය විසි­ප­හට එකක් දෙකක් අඩු­වෙන් හැදෙයි. නිල­ධා­රින් හෝ ඊට පහ­ළින් සිටින අය වංචා දූෂ­ණ­ව­ලට පෙල­ඹිලා තිබෙන්නෙ අපේ නාය­කයො වංචා කළ නිසා. මාළුවා කුණු වෙන්නෙ ඔළුවෙ සිට කියා කිය­ම­නක් තිබෙ­නවා. අපේ රටේ සිටින සියලු දෙනා ජන­ව­රම අනුව කට­යුතු කළ යුතුයි. ඒකට පිටු­පාන්න කාට­වත් බැහැ. උඩින් සිදු­වන වංචා දූෂණ පාල­න­යක් අප කර­නවා. අපි අපේ­ක්ෂ­ක­යන් 159ක් බලා­පො­රොත්තු වුණේ නැහැ. බලා­පො­රොත්තු වුණේ 140ක වගේ සංඛ්‍යා­වක්. හැබැයි විශාල ගණ­නක් ලැබීම පිළි­බ­ඳව සතු­ටක් තිබෙ­නවා. ජන­තාව මෙත­රම් බල­යක් දුන්නෙ අප පිළි­බ­ඳව විශාල විශ්වා­ස­යක් තබා­ගෙන. අපට ජන­තාව ලබා­දුන් මහා බලය ඉතා නිවැ­ර­දිව මේ රට ගොඩ­න­ඟන්න යොදා­ගත යුතුයි.

රනිල් වික්‍ර­ම­සිංහ පසු­ගිය දව­ස්වල තේරු­මක් නැති විවිධ දේ කියෙව්වා. පුද්ග­ලයො අපේ පක්ෂය පාල­නය කරන්නෙ නැහැ. එක්සත් ජාතික පක්ෂය පාල­නය කරන්නෙ රනිල්. සමගි ජන බල­වේ­ගය පාල­නය කරන්නෙ සජිත්. අපට සංවි­ධාන ව්‍යුහ­යක් තිබෙ­නවා. එහිදී විවිධ තීරණ ගන්නවා. එහිදී මමත් එක පුරු­කක්.

අග­මැති තන­තුර වෙනස් කරන්නෙ නැහැ, හරිනි අම­ර­සූ­රිය සහෝ­ද­රි­යම කියා අප කලින් ප්‍රකාශ කළා. අප හදන ඇතැම් විශාල අමා­ත්‍යාංශ තනි නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­ය­කුට පාල­නය කර ගැනී­මට අප­හසු විය හැකියි. එවන් අව­ස්ථා­වල අපට නියෝජ්‍ය ඇමැ­ති­ව­රුන් දෙකක් පත් කරන්න සිදු වෙයි. අපගේ උත්සා­හය ඇමැති මණ්ඩ­ලය තවත් අඩු කිරීම. ඉන්දි­යාව අපේ අස­ල්වැ­සියා. ඔවුන් අපට සුබ­පැ­තුවා. අලුත් ආණ්ඩු­වට උප­රිම සහ­යෝ­ගය ලබා­දෙන බව ප්‍රකාශ කළා. පළාත් පාලන ඡන්දය ලබන අවු­රුද්දේ මුල් කාර්තුව තුළ තියන්න වෙයි කියා සිත­නවා. පළාත් සභා ඡන්ද­යත් තියන්න ඕනෙ. හැබැයි මාස දෙකෙන් දෙකට ඡන්ද එන්න ගත්තොත් ජන­තා­වට දුෂ්ක­ර­තා­ව­ලට මුහුණ දෙන්න සිදු වෙනවා. අපට පිට පිට ඡන්ද දිග­ටම කර­ගෙන යන්න බැරි­වෙයි. ආණ්ඩුව අනි­වා­ර්ය­යෙන්ම යට ගසා තිබෙන සිදු­වී­ම්ව­ලට යුක්තිය ඉටු­කි­රී­මට මැදි­හත් වෙනවා.

මේ මැති­ව­ර­ණ­යෙන් ජාතික ජන බල­වේ­ග­යට අති­වි­ශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලැබී තිබෙ­නවා. ඓති­හා­සික දේශ­පා­ලන හැර­වුමේ තීන්දු­වක්. සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නාට පසුව දේශ­පා­ලන පක්ෂ­යක් මේසා විශාල ජය­ග්‍ර­හ­ණ­යක් ලබා­ගත් පළමු වැනි අව­ස්ථාව මෙයයි. මේක අපේ රටේ ජන­තාව එක පාලන යුග­යක් නිමා කර නව යුග­යක් ආරම්භ කිරීම අර­මුණු කර­ගෙන දී තිබෙන ජන­ව­ර­මක්. මේ ජන­ව­රම තුළ තිබෙන දේශ­පා­ල­නය අපට පැහැ­දි­ලිව පෙනෙ­නවා. ආසන 225ක් තිබෙන පාර්ලි­මේ­න්තුවේ ආසන 159ක් ජය­ග්‍ර­හ­ණය කර ගැනී­මට අපි සමත් වී තිබෙ­නවා. මඩ­ක­ල­පුව හැර සෑම දිස්ත්‍රි­ක්ක­යක්ම ජාතික ජන බල­වේ­ගය විසින් ජය­ග්‍ර­හ­ණය කර තිබෙ­නවා. උතුරේ යාප­නය හා වන්නි දිස්ත්‍රික්ක දෙකම ජය­ග්‍ර­හ­ණය කිරී­මෙන් දේශ­පා­ල­නයේ කැපී පෙනෙන විශේ­ෂ­යක් පෙන්නුම් කර තිබෙ­නවා. නැඟෙ­න­හිර පළාතේ අම්පාර, ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික්ක දෙක ජය­ග්‍ර­හ­ණය කර තිබෙ­නවා. පසු­ගිය කාලයේ එක්තරා දේශ­පා­ල­නයේ ආධි­පත්‍ය දරා­ගෙන සිටි කඳු­කර ජන­තාව ජීවත් වෙන ප්‍රදේ­ශ­වල ජය­ග්‍ර­හණ අප ලබා­ගෙන තිබෙ­නවා. නුව­ර­එ­ළිය, බදුල්ල, මහ­නු­වර, රත්න­පුර දිස්ත්‍රි­ක්ක­වල ජය­ග්‍ර­හණ අප ලබා­ගෙන තිබෙ­නවා. අපේ රටේ සමස්ත ජනයා එක අර­මු­ණ­කට ඇවිත් ජය­ග්‍ර­හ­ණය සඳහා අත්වැල් බැඳ­ගෙන තිබෙ­නවා. ඒ අනුව මේ ලබා­ගත් ජය­ග්‍ර­හ­ණය අති­වි­ශේෂ ජය­ග්‍ර­හ­ණ­යක් කොට අපි සල­ක­නවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නියුතු අයත් 80%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­දෙ­මින් මේ ජය­ග්‍ර­හ­ණ­යට දායක වී තිබෙ­නවා. අපි මේ ලබා තිබෙන ජන­ව­රම අංග­ස­ම්පූර්ණ, දේශ­පා­ලන බරක් සහිත ජන­ව­ර­මක්. මෙතෙක් ආණ්ඩු පක්ෂ කිහි­ප­යක් එකතු කර සන්ධා­න­ව­ලින් ගොඩ­න­ඟා­ගත් ජය­ග්‍ර­හ­ණ­යන්ට වඩා මේ ජය­ග්‍ර­හ­ණයේ දේශ­පා­ලන ගැඹු­රක්, හර­යක් තිබෙ­නවා.

මේ නිසා අපිට වග­කී­මක් තිබෙ­නවා පළ­මු­වෙන්ම ජන­තා­වට ස්තුති කරන්න. මේ ජය­ග්‍ර­හ­ණය දක්වා මේ ව්‍යාපා­රය මෙතෙක් රැගෙන ඒමේදී මුහුණ දුන් දුෂ්ක­රතා අමා­රු­කම් දරා­ගෙන සිටි බොහෝ දෙනෙක් සිටියා. කැප­කි­රීම් කළ, වෙහෙස වුණු බොහෝ පිරි­සක් ඉන්නවා. ඒ වගේම උදව් කළ අය, ඡන්දෙ දුන් අය ඉන්නවා. දිගු කලක් තිස්සේ අමා­රු­කම් දරා­ගෙන මේ ව්‍යාපා­රය අල්ලා­ගෙන ආ අය, ව්‍යාපා­ර­යට උදව් කළ අයට ජාතික ජන බල­වේ­ගය විදි­හට අපි ඒ සියලු දෙනා­ටම අපේ ආචා­රය පුද කර­නවා. ස්තුතිය පුද කර­නවා. ඒ සියලු දෙනා­ගේම ධෛර්යය තමයි අපිට අලුත් රටක් හැදීම සඳහා අව­ස්ථාව උදා­කර දී තිබෙන්නේ. මේ ජය­ග්‍ර­හ­ණ­යේදී නන් අයු­රින් සහ­යෝ­ගය දක්වපු, ඡන්දය දුන්, උදව් කරපු, සියලු දෙනා­ටම අපේ ස්තුතිය, ගරු­ත්වය, ශීර්ෂ ප්‍රණා­මය පුද කරන්න මෙය අව­ස්ථා­වක් කර ගන්නවා.

විශේ­ෂ­යෙන්ම උතුරේ ජන­තාව ඉති­හා­සයේ පළමු වැනි වතා­වට අනෙක් ප්‍රදේ­ශ­ය­කින් ඉදි­රි­පත් වූ නාය­ක­යෙක් ගැන විශ්වා­සය තබා තිබෙ­නවා. උතුරේ ජන­තාව, නැඟෙ­න­හිර ජන­තාව, කඳු­කර ජන­තාව ජාති­වා­දය පසෙක දමා දකුණේ ජන­තාව සමඟ අත්වැල් බැඳ­ගැ­නීම ගැන විශේ­ෂ­යෙන් ස්තුති­වන්ත වෙනවා. ජාති­වාදී නාය­ක­යන් විසින් පතු­ර­වපු බොරු, බේගල්, වැරදි මත, නොමඟ යැවීම් විශ්වාස නොකර, රටක් ලෙස එකට සිතලා අප සමඟ අත්වැල් බැඳ­ගැ­නීම ගැන අපේ ස්තුතිය පුද කර­නවා. අපේ මතය සමා­ජ­ගත කිරීම සඳහා, තමන්ට කිසි­වක් බලා­පො­රොත්තු නොවී අපට මුදල් ලබා­දෙ­මින් උදව් කළ අයත්, මාධ්‍ය­වේ­දීන්, තමන්ගේ රැකි­යා­වට තිබෙන අන­තුරු පවා නොත­ක­මින්, රට වෙනස් කිරීමේ අර­මුණු සහි­තව පොදු අර­මු­ණ­කින් උදව් කළ විශාල පිරිස් හිටියා. ඒ හැමෝ­ට­මත් අපේ ස්තුතිය පුද කර­නවා.

අපට ලැබී තිබෙන ජය­ග්‍ර­හ­ණයේ බර අපි තේරුම් අර­ගෙන තිබෙ­නවා. ජන­තාව විශාල විශ්වා­ස­යක් අපි කෙරෙහි තබා තිබෙ­නවා. අපි ඒ විශ්වා­සය ඒ වගේම රැකිය යුතුව තිබෙ­නවා. අවු­රුදු 76ක කාල­යක් පුරා රටේ දේශ­පා­ලන බලය හොබ­වපු දේශ­පා­ලන පක්ෂ පරා­ජ­යට පත්කර තමයි, මේ ජය­ග්‍ර­හ­ණය අත්පත් කර දී තිබෙන්නේ. අපේ ජය­ග්‍ර­හ­ණයේ වේගය බැලූ විට, පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අපි ලබා­ගත්තේ දළ වශ­යෙන් ඡන්ද 56,34,000ක ප්‍රමා­ණ­යක්. අපි එය මේ මහ­මැ­ති­ව­ර­ණ­යේදී 68,63,000ක් දක්වා වැඩි කර ගැනී­මට සමත් වී තිබෙ­නවා. මාස එක­හ­මා­රක් තුළ ලක්ෂ 12කින් වැඩි කර ගැනී­මට අපි සමත් වෙලා තිබෙ­නවා. සමගි ජන බල­වේ­ගය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී 43,63,000ක පමණ ප්‍රමා­ණ­යක් ලැබුවා. නමුත් මේ මැති­ව­ර­ණ­යේදී 19,68,000ක් දක්වා අඩු වී තිබෙ­නවා. ඔවු­න්ගෙන් ලක්ෂ 24කට කිට්ටු ඡන්ද ප්‍රමා­ණ­යක් ගිලිහී තිබෙ­නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ලබා­ගත් ඡන්ද­ව­ලින් අඩ­ක්වත් ලබා­ගැ­නී­මට ඔවුන් අස­මත් වී තිබෙ­නවා. රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඡන්ද 22,99,000ක් පමණ ලබා­ගත්තා. මෙවර මැති­ව­ර­ණ­යේදී ඔහුට ලක්ෂ 05ක පමණ ප්‍රමා­ණ­යක් පම­ණයි, ලබා­ගත හැකිවී තිබෙන්නේ. ඔහු­ගෙන් ලක්ෂ 17ක් පමණ ගැලවී ගොස් තිබෙ­නවා. මේ මාස එක­හ­මා­රක් තුළ මේ දේශ­පා­ලන පක්ෂ බිඳ­වැ­ටී­මක් සිදු වී තිබෙ­නවා.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී රනිල් වික්‍ර­ම­සිං­හලා, සමගි ජන බල­වේ­ගයේ අය සමා­ජය ඉදි­රියේ කිව්ව බොරු, බිය­වැ­ද්දීම්, නිසා ජන­තාව කිසි­යම් දෙගි­ඩි­යා­ව­කට පත්වුණා. නමුත් ගෙවුණු මාස එක­හ­මාර තුළදී ඔවුන්ගේ බොරු­වල ප්‍රමා­ණය ජන­තාව තේරුම් ගත්තා. අපි ආවොත්, ආර්ථි­කය, කොටස් වෙ‍ෙළ­ඳ­පොළ, කඩා­වැ­ටෙයි, දේපොළ පවරා ගනියි, කිව්වා. රුපි­යල බාල්දු වෙනවා කිව්වා. කාර් දෙක­කින් එකක් ගනියි, ලේ වැගි­රීම් සිදු වෙයි, අස්වැ­සුම කපයි, රටේ විශාල විනා­ශ­යක් වෙයි කිව්වා. ආගම අද­හන්න දෙන්නේ නැහැ කිව්වා. එවැනි බිය­වැ­ද්දීම් කළ සමා­ජ­යක් ඇතුළේ තමයි අපි ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කළේ. නමුත් එයින් පසුව ගෙවුණු මාස එක­හ­මාර තුළ ජන­තාව තේරුම් ගත්තා ඒ ප්‍රකා­ශ­යන් සිය­ල්ලම බොරු බව. ඒ නිසා අපිට උදව් කරන්න ජන­තා­වට ලෙහෙසි වුණා. බොරු­වෙන් ජය ගන්න උත්සාහ කළ අය බොරුව නිසාම පරා­ජ­යට පත්වෙලා තිබෙ­නවා. පැරණි, වර­ප්‍ර­සාද සහිත, පවුල් පාල­නය සහිත, ප්‍රභූ ජන­තාව මත ආධි­ප­ත්‍යය පට­වා­ගෙන හිටපු, මහ­ජන මුද­ලින් යැපුණු දේශ­පා­ල­නය දැන් අව­සන් වී තිබෙ­නවා. අපි ජන­තා­වට කිය­නවා පැරණි යුගය අව­සන්. දැන් තිබෙන්නේ පොදු ජන­තා­වගේ දේශ­පා­ල­න­යක්. එය තේරුම් ගත් ජන­තා­වගේ සහ­යෝ­ග­යක් මේ ජය­ග්‍ර­හ­ණය තුළ තිබෙ­නවා.

ඒ වගේම ගත­වුණු දින 50කට වැඩි කාලය තුළ, ජාතික ජන බල­වේ­ගයේ භාවි­තය අපේ රටේ ජන­තාව පිළි­ගෙන තිබෙන බව පේනවා. අපි සරල රාජ්‍ය පාල­න­යක් පටන් ගත්තා. මහ­ජන මුදල් නාස්ති නොකර වැඩ කරන්නේ කොහො­මද කියා ඔප්පු­කොට පෙන්නුවා. ජන­තා­වට වඩා උඩින් ඉන්න ප්‍රභූ­ත්ව­යක් පෙන්නුවේ නැහැ. ජන­තාව සමඟ වැඩ කරන සරල මිනිස්සු බව, අවං­කව වැඩ කරන බව පෙන්නුවා. ඒවත් අපේ ඡන්ද වැඩි කර ගැනී­මට හේතු කාරක වෙන්න ඇති කියා අපි හිත­නවා. අපේ ජන­තාව මේ ආකා­ර­යෙන් අපව විශ්වාස කිරීම ගැන ස්තුති­වන්ත වෙනවා. ජන­තාව අප කෙරෙහි තැබූ විශ්වා­සය ආරක්ෂා කිරීමේ අභි­යෝ­ගය අපට තිබෙ­නවා. පාර්ලි­මේ­න්තුවේ බලය අපිට 2/3 ඉක්මවා ගොස් තිබෙ­නවා. මේ ලැබී තිබෙන අධික බලය පරෙ­ස්ස­මට පරි­හ­ර­ණය කරන්න අපි පරෙ­ස්සම් වනවා. පාර්ලි­මේ­න්තු­වට 2/3ක වැඩි බල­යක් දෙන්න එපා යන මත­යක් ගොඩ­නැඟී තිබුණේ ඇයි? 1977න් පස්සේ ලැබුණු අධික බලය පාල­ක­යන් පාවිච්චි කළේ, ජන­තාව මර්ද­නය කර, යට­පත් කරලා, ජනතා හඬට ඇහු­ම්කන් නොදෙන, මහ­ජන දේපොළ ඇති තරම් භුක්ති විඳි­න්නයි. ජන­තා­වට වඩා උඩින් ජීවත් වෙන, බල­යෙන් ඉදි­මෙන, මත්වෙන දේශ­පා­ල­න­යක් අතී­තයේ තිබුණා. ඒක පර­ද්දන්න ඕනෑ.

අපි දේශ­පා­ලන බල­යෙන් මත් වෙන්න යන්නේ නැහැ. මේ බලය ජන­තාව දුන් බල­යක්. එය අති­ශය පරෙ­ස්ස­මින් ජන­තා­වගේ යහ­පත වෙනු­වෙන් පාවිච්චි කරන්නේ කොහො­මද කියන වග­කී­මක අපි ඉන්නවා. ජන­තාව පීඩා­වට පත්කි­රී­මට හෝ බල­යට පත්වුණු අයගේ පැවැත්ම සඳහා හෝ නොව මේ රට ගොඩ­න­ඟන්න, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තහ­වුරු කරන්න, වංචා දූෂ­ණ­ව­ලින් තොර හොඳ පාල­න­යක් නිර්මා­ණය කරන්න, ජන­තා­වගේ බලා­පො­රොත්තු ඉටු­කි­රීම සඳහා මේ බලය පාවිච්චි කරන බවට අපි සහ­ති­ක­යක් ජන­තා­වට දෙනවා. මේ ජන­ව­රමේ ගැඹුර, බර අපට හොඳින්ම තේරෙ­නවා. අපි භාර­ගෙන තිබෙන්නේ සරල රටක් නොවෙයි. මේක විනාශ කරපු රටක්. ආර්ථික වශ­යෙන් බංකො­ලොත් කරපු, ණය බරින් මිරි­කුණු, ණය බර නිසාම මූල්‍ය අර­මු­දල සමඟ ගිවි­සුම් ගහන්න සිදු වුණු රටක්, දුප්ප­ත්ක­මින් පිරුණු තුන්වේල කන්න බැරි වුණු, අප­රාධ වැඩි වුණු, මත්ද්‍රව්‍ය වැඩි වුණු, සෑම පැත්ත­කින්ම විනාශ වුණු, ජාත්‍ය­න්ත­රය තුළ අපේ ප්‍රති­රූ­පය විනාශ වුණු රටක් අපි ඉදි­රියේ තිබෙ­නවා. අපේ රට පාල­ක­යන් මුළු ජීවිත කාල­යම මහ­ජන මුද­ල්ව­ලින් ජීවත් වීමේ ක්‍රමය කර­ගත් රටක්.

පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සහ මෙවර මැති­ව­ර­ණ­යේදී, පශ්චාත් මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා සහිත දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කළා. අපට ඡන්ද­යක් නොදුන් කෙනාව පීඩා­වට පත් කරන ජය සැම­රීමේ සංස්කෘ­ති­යක් අපි නිර්මා­ණය කළේ නැහැ. ඒ නිසා අපිට ඡන්දය නොදුන් අයට පවා මෙවර අපට ඡන්ද­යක් දෙන්න ලේසි වුණා. අපි විශාල ජය­ග්‍ර­හ­ණ­යක් ලබා තිබෙ­නවා. අපි උද්දාම වුණේ නැහැ. මේ ජය­ග්‍ර­හ­ණ­යට අපි වග­කි­යන්න ඕනෑ. මෙත­නින් පස්සේ ජය­ග්‍ර­හ­ණය කළ අය හා පරා­ජි­ත­යන් කියා කණ්ඩා­යම් දෙකක් නැහැ. අපි සියලු දෙනාම මේ රටේ පුර­වැ­සි­යන්. මේක රටේම ජය­ග්‍ර­හ­ණ­යක්. මුස්ලිම්, දෙමළ, සිංහල, බර්ගර්, මැලේ, බෞද්ධ, ඉස්ලාම්, කතෝ­ලික, හින්දු අපි හැම­දෙ­නාම එකට එකතු වෙලා, මේ වට්ටපු රට ගොඩ­ගැ­නීම අපේ වග­කී­මයි. ඒ සියලු දෙනා­ටම ආරා­ධනා කර­නවා අපිත් සමඟ එකතු වෙන්න. අපට තිබෙ­නවා ජාතික පුන­රුද කාර්ය­භා­ර­යක්. ජාතික පුන­රු­ද­යක්, ආර්ථික පුන­රු­ද­යක්, දේශ­පා­ලන පුන­රු­ද­යක්, සංස්කෘ­තියේ පුන­රු­ද­යක්, මිනිස් චින්ත­නයේ පුන­රු­ද­යක් නිර්මා­ණය කර, ලෝකය තුළ අපේ රට බැබ­ළෙන රටක් බවට පත් කරන්න මෙතැන් සිට හැම­දෙ­නාම වැඩ කරමු. පොදු ජන­තාව අපට ලබා­දුන් ජන­ව­රම රට ජය­ග්‍ර­හ­ණය කර­වීමේ අර­මුණ වෙනු­වෙන් පම­ණක් පාවිච්චි කරන බවට සහ­තික කර­නවා. මේ ජය­ග්‍ර­හ­ණ­යට සිය­ලුම අයු­රින් සහ­යෝ­ගය දුන් සිය­ලුම දෙනාට සහෝ­ද­රා­ත්මක ස්තුතිය පළ කර­නවා. ලංකා­වෙන් පිට සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාට ආරා­ධානා කර­නවා රට හදන්න එක්වන ලෙස.

ජාතික ජන බල­වේ­ගයේ ප්‍රධාන ලේකම් විශේ­ෂඥ වෛද්‍ය නිහාල් අබේ­සිංහ, ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික නීතිඥ සුනිල් වට­ගල, ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්ම මහ­ත්මී­හුද මෙහිදී අද­හස් දැක්වූහ.