අමෙරිකවේ ඉලිනෝයි ප්‍රාන්තයේ කාබන්ඩේල්හි සදර්න් ඉලිනෝයි විශ්වවිද්‍යාලය (SIU) හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර ඇති කළ ගිවිසුම් මගින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා අධ්‍යාපන අවස්ථා රැසක් නිර්මාණය කර ඇති බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. එමඟින් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වී තිබෙන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී එම විශ්වවිද්‍යාලීය ඉහළ නිළධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවද ලාංකේය සිසුන් සඳහා ඇති වටිනා අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, සදර්න් ඉලිනෝයි විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර එකඟතා ගිවිසුම් පිළිබඳව එහිදී අවධානය යොමු කළ බවද පෙන්වා දෙයි.
සදර්න් ඉලිනෝයි විශ්වවිද්‍යාලය සමඟ වූ එම සංවාදයෙන් සහ විධිමත් යෝජනාවලින් පසුව, වොෂින්ටන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ප්රමුඛ රාජ්‍ය සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට එකී අවස්ථාවන් යොමු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවබෝධතා ගිවිසුම් (MOU) කිහිපයක් අත්සන් කර තිබේ. සදර්න් ඉලිනෝයි විශ්වවිද්‍යාලය වැනි කීර්තිමත් ආයතනයක් හරහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමට ලැබීම ඉතා වැදගත් පියවරක් බව ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ අදහස වෙයි.
SIUහි උපායමාර්ගික සැලැස්ම, Imagine 2030 සමඟ ජාත්‍යන්තර සබඳතා ගොඩනඟාගැනීම සහ එහි ශිෂ්‍ය සාර්ථකත්වය සහ විවිධත්වය, සමානාත්මතාවය සමඟ හොඳින් ගැළපේයැයි පර්යේෂණ පිළිබඳ උපකුලපති සහ උපාධි පාසලේ පීඨාධිපති කොස්ටස් සැට්සොලිස් මහතා පවසා තිබේ. ශ්‍රී ලංකාවේ හා සෙසු රටවල දක්ෂ සිසුන් ද ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ කීර්තිය තවත් ඉහල නංවනු ඇති බවට ද ඒ මහතා විශ්වාසය පළකර තිබෙන අතර ලාංකික සිසුන්ගේ පැමිණීම හා ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමේ හැකියාව සහිත පර්යේෂණ විශ්ව විද්‍යාලයක ඔවුන්ට ප්‍රායෝගික අවස්ථා සලසා දීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර ඇත.
ලංකාවේ NSBM හරිත විශ්වවිද්‍යාලය 2024 මාර්තු මාසයේ දී ඉලිනෝය විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුම නිමා කළ අතර, ඒ සමඟම ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM), බෞද්ධ අධ්‍යයන සඳහා වන නාගානන්ද ජාත්‍යන්තර ආයතනය (NIIBS) සහ හොරයිසන් විශ්වවිද්‍යාලය සමඟ මෑත කාලීන ගිවිසුම් ඇති කරගන්නා ලදි. එමඟින් උසස් අධ්‍යාපනයේ සහයෝගිතාවට ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරන ලද අතර සදර්න් ඉලිනෝය හා මොරටුව විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය අතර ගිවිසුම් ඇතිකිරීමේ කටයුතු ක්‍රියාත්මක වේ. එමගින් අධ්‍යයන විශිෂ්ටත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා වන දෙරටේ හවුල්කාරීත්වය හා කැපවීම වර්ධනය වෙයි.
“මේ ගිවිසුම් ලාංකික සිසුන්ට දීප්තිමත් අනාගතයකට මඟපාදනු නිසැක” යැයි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසයි. මේ ආරම්භය අමෙරිකාව සහ ශ්‍රී ලංකාවේ ආයතන අතර සහයෝගිතාවට ප්‍රබල අනුබලයක් වනු ඇතැයි පවසන තානාපතිවරයා, SIU සහ එහි නිලධාරීන් – Costas Tsatsoulis සහ Karen Jones, සහකාර පීඨාධිපති සහ උපාධි පාසලේ අධ්යක්ෂ සහ Peter Li, ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෙත ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පුද කරයි.
1869 දී සාමාන්‍ය විද්‍යාලයක් ලෙස ඇරඹී පසුව වරලත් සදර්න් ඉලිනෝයි විශ්වවිද්‍යාලය ලෙස එක්සත් ජනපද පර්යේෂණ විශ්වවිද්‍යාලය ආරම්භ කර තිබෙන අතර SIU සියලු එක්සත් ජනපද උසස් අධ්‍යාපන ආයතන අතර පර්යේෂණ සඳහා ඉහළම 5% තුළ ශ්‍රේණිගත කර ඇත. එය උසස් අධ්‍යාපන ආයතන සඳහා වන Carnegie වර්ගීකරණය මඟින් ඉහළ පර්යේෂණ ක්‍රියාකාරකම් සහිත ආචාර්ය උපාධි දක්වා පිරිනමන ඉහළ විශ්වවිද්‍යාලයක් ලෙස ප්‍රමිතිගතව ඇත. ඊට පර්යේෂණ සඳහා වාර්ෂිකව විශාල බාහිර අරමුදල් ලැබෙන අතර පුහුණුව සහ සේවා පදනම් වූ ප්‍රදාන සහ කොන්ත්‍රාත්තු සඳහා වන ආයතනයක් ලෙසද සැලකේ.