උතුරේ ජනතාව තැබූ විශ්වාසය රකිනවා
දැන් තිබෙන්නේ පොදු ජනතාවගේ දේශපාලනයක්
මෙවර මහමැතිවරණයේදී ලබාදුන් බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට පාවිච්චි කරන බවට සහතික වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
විශේෂයෙන්ම උතුරේ ජනතාව ඉතිහාසයේ පළමු වැනි වතාවට අනෙක් ප්‍රදේශයකින් ඉදිරිපත් වූ නායකයකු ගැන විශ්වාසය තබා තිබෙන බවද ප්‍රධාන ලේකම්වරයා කීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ, ඊයේ (15) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා –
ජාතික ලැයිස්තුව තුළ නොසිටින ආණ්ඩුකරණයට අත්‍යවශ්‍යම අය සිටිනවා නම්, ඒ පිළිබඳව සලකා බලන්න සිදු වෙනවා. ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් තවම අරගෙන නැහැ. රටේ ජනතාවට ජනාධිපතිවරණයට කලින් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළා. ඒක ඉටුකිරීම අපේ වගකීම. ඒ ප්‍රතිපත්ති මාලාවේ නව ව්‍යවස්ථාවක් හදන එක, ප්රජාතන්ත්රවාදය තහවුරු කරන එක, රටේ විවිධ ජන කණ්ඩායම්වලට අයිතිවාසිකම් දෙන එක, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක ආදී කරුණු ගණනාවක් තිබෙනවා. අපි ඒ නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් පමණක් නොවෙයි ජනමත විචාරණයකින්ද සම්මත කර ගන්න සූදානම්. අපේ පාලන කාලය තුළ ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැඟීමට පොරොන්දු වෙනවා. මහමැතිවරණයේදී ජනතාව දේශපාලනයේ පිරිසිදු කිරීමක් කළා. ඒක තවත් ඉදිරියට යා යුතුයි. අපි ජාතික ජන බලවේගය ලෙසයි උතුරේ, නැඟෙනහිර, කඳුකරයේ ඡන්දය ඉල්ලුවෙ. අපි ඒ පළාත්වල කිසිදු දේශපාලන කණ්ඩායමක් සමඟ සම්බන්ධකමක් හදාගත්තෙ නැහැ. උතුරේ සාම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම් අපට එරෙහිව දේශපාලන මත ගෙනගියා. අනුර සහෝදරයා සහභාගි වූ රැලියෙන් පසුව උතුරේ ඇතැම් දේශපාලන කණ්ඩායම්වල නායකයො කීවා අපි උතුරට, දකුණේ සිට බස්වලින් ජනතාව අරගෙන ගියා කියල. ඔවුන් ජාතිවාදය පාවිච්චි කළා. දැන් ඒ ගොල්ලන්ට බලාගන්න පුළුවන් මෙම මහමැතිවරණයේදී අපට උතුරේදී ඡන්දය දුන්නෙ දකුණෙන් ගිය ජනතාවද කියා. අපේ ජයග්‍රහණය මේ 159ම නොවෙයි. උතුරු ප්‍රදේශයේ හොඳ ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අප එම ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. එය රකිනවා. අප උතුරේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා.
13 සංශෝධනය පිළිබඳව අපේ ස්ථාවරය අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඉදිරිපත් කර තිබෙනවා. මෙම සංශෝධනයෙන් බලාපොරොත්තු වූ දේ ඉටුවෙලා නැහැ. පළාත් සභා පැමිණියා. මෙය තිබුණද දෙමළ ජනතාවගේ ගැටලු තවම පවතිනවා. පළාත් සභා ව්‍යුහයක් ලෙස සාර්ථක වෙලා නොවෙයි තිබෙන්නෙ. මීට වඩා දමිළ ජනතාවගේ, උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් රැකෙන යන්ත්‍රණයක් අප නිර්මාණය කරගත යුතුයි. පළාත් සභා අපට අහෝසි කරන්න බැහැ. දමිළ ජනයාට යම්කිසි සහනයක් මෙමඟින් ලැබෙනවා. පළාත් සභා අප අහෝසි කරන්නෙ නැහැ, එයට වඩා දමිළ ජනතාවට සාධාරණ විසඳුමක් ඉදිරිපත් කර ගන්නා තුරු. අප ජනාධිපතිවරණයෙන් පසු අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න පටන් ගත්තා. දැන් එය ඉදිරියට යනවා. සමහර දේ සිදු කිරීමට අපට පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි. 21 දින පාර්ලිමේන්තුව රැස් වෙනවා කියා අදහස තිබෙනවා. ආයෝජකයන්ගෙන් කප්පම් ඉල්ලන, පගා ඉල්ලන ඇමැතිවරු, මන්ත්‍රීවරු සිටියා. මෙතනින් පසුව එවැනි අය නැහැ. ඒ නිසා දේශීය, විදේශීය ආයෝජකයන්ට නිදහසේ තම ව්‍යාපාර අරඹන්න පුළුවන්.
ඇමැති මණ්ඩලය විසිපහට එකක් දෙකක් අඩුවෙන් හැදෙයි. නිලධාරින් හෝ ඊට පහළින් සිටින අය වංචා දූෂණවලට පෙලඹිලා තිබෙන්නෙ අපේ නායකයො වංචා කළ නිසා. මාළුවා කුණු වෙන්නෙ ඔළුවෙ සිට කියා කියමනක් තිබෙනවා. අපේ රටේ සිටින සියලු දෙනා ජනවරම අනුව කටයුතු කළ යුතුයි. ඒකට පිටුපාන්න කාටවත් බැහැ. උඩින් සිදුවන වංචා දූෂණ පාලනයක් අප කරනවා. අපි අපේක්ෂකයන් 159ක් බලාපොරොත්තු වුණේ නැහැ. බලාපොරොත්තු වුණේ 140ක වගේ සංඛ්‍යාවක්. හැබැයි විශාල ගණනක් ලැබීම පිළිබඳව සතුටක් තිබෙනවා. ජනතාව මෙතරම් බලයක් දුන්නෙ අප පිළිබඳව විශාල විශ්වාසයක් තබාගෙන. අපට ජනතාව ලබාදුන් මහා බලය ඉතා නිවැරදිව මේ රට ගොඩනඟන්න යොදාගත යුතුයි.
රනිල් වික්‍රමසිංහ පසුගිය දවස්වල තේරුමක් නැති විවිධ දේ කියෙව්වා. පුද්ගලයො අපේ පක්ෂය පාලනය කරන්නෙ නැහැ. එක්සත් ජාතික පක්ෂය පාලනය කරන්නෙ රනිල්. සමගි ජන බලවේගය පාලනය කරන්නෙ සජිත්. අපට සංවිධාන ව්‍යුහයක් තිබෙනවා. එහිදී විවිධ තීරණ ගන්නවා. එහිදී මමත් එක පුරුකක්.
අගමැති තනතුර වෙනස් කරන්නෙ නැහැ, හරිනි අමරසූරිය සහෝදරියම කියා අප කලින් ප්‍රකාශ කළා. අප හදන ඇතැම් විශාල අමාත්‍යාංශ තනි නියෝජ්‍ය ඇමැතිවරයකුට පාලනය කර ගැනීමට අපහසු විය හැකියි. එවන් අවස්ථාවල අපට නියෝජ්‍ය ඇමැතිවරුන් දෙකක් පත් කරන්න සිදු වෙයි. අපගේ උත්සාහය ඇමැති මණ්ඩලය තවත් අඩු කිරීම. ඉන්දියාව අපේ අසල්වැසියා. ඔවුන් අපට සුබපැතුවා. අලුත් ආණ්ඩුවට උපරිම සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළා. පළාත් පාලන ඡන්දය ලබන අවුරුද්දේ මුල් කාර්තුව තුළ තියන්න වෙයි කියා සිතනවා. පළාත් සභා ඡන්දයත් තියන්න ඕනෙ. හැබැයි මාස දෙකෙන් දෙකට ඡන්ද එන්න ගත්තොත් ජනතාවට දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. අපට පිට පිට ඡන්ද දිගටම කරගෙන යන්න බැරිවෙයි. ආණ්ඩුව අනිවාර්යයෙන්ම යට ගසා තිබෙන සිදුවීම්වලට යුක්තිය ඉටුකිරීමට මැදිහත් වෙනවා.
මේ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබී තිබෙනවා. ඓතිහාසික දේශපාලන හැරවුමේ තීන්දුවක්. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නාට පසුව දේශපාලන පක්ෂයක් මේසා විශාල ජයග්‍රහණයක් ලබාගත් පළමු වැනි අවස්ථාව මෙයයි. මේක අපේ රටේ ජනතාව එක පාලන යුගයක් නිමා කර නව යුගයක් ආරම්භ කිරීම අරමුණු කරගෙන දී තිබෙන ජනවරමක්. මේ ජනවරම තුළ තිබෙන දේශපාලනය අපට පැහැදිලිව පෙනෙනවා. ආසන 225ක් තිබෙන පාර්ලිමේන්තුවේ ආසන 159ක් ජයග්‍රහණය කර ගැනීමට අපි සමත් වී තිබෙනවා. මඩකලපුව හැර සෑම දිස්ත්‍රික්කයක්ම ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කර තිබෙනවා. උතුරේ යාපනය හා වන්නි දිස්ත්‍රික්ක දෙකම ජයග්‍රහණය කිරීමෙන් දේශපාලනයේ කැපී පෙනෙන විශේෂයක් පෙන්නුම් කර තිබෙනවා. නැඟෙනහිර පළාතේ අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක දෙක ජයග්‍රහණය කර තිබෙනවා. පසුගිය කාලයේ එක්තරා දේශපාලනයේ ආධිපත්‍ය දරාගෙන සිටි කඳුකර ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල ජයග්‍රහණ අප ලබාගෙන තිබෙනවා. නුවරඑළිය, බදුල්ල, මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කවල ජයග්‍රහණ අප ලබාගෙන තිබෙනවා. අපේ රටේ සමස්ත ජනයා එක අරමුණකට ඇවිත් ජයග්‍රහණය සඳහා අත්වැල් බැඳගෙන තිබෙනවා. ඒ අනුව මේ ලබාගත් ජයග්‍රහණය අතිවිශේෂ ජයග්‍රහණයක් කොට අපි සලකනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නියුතු අයත් 80%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාදෙමින් මේ ජයග්‍රහණයට දායක වී තිබෙනවා. අපි මේ ලබා තිබෙන ජනවරම අංගසම්පූර්ණ, දේශපාලන බරක් සහිත ජනවරමක්. මෙතෙක් ආණ්ඩු පක්ෂ කිහිපයක් එකතු කර සන්ධානවලින් ගොඩනඟාගත් ජයග්රහණයන්ට වඩා මේ ජයග්‍රහණයේ දේශපාලන ගැඹුරක්, හරයක් තිබෙනවා.
මේ නිසා අපිට වගකීමක් තිබෙනවා පළමුවෙන්ම ජනතාවට ස්තුති කරන්න. මේ ජයග්‍රහණය දක්වා මේ ව්‍යාපාරය මෙතෙක් රැගෙන ඒමේදී මුහුණ දුන් දුෂ්කරතා අමාරුකම් දරාගෙන සිටි බොහෝ දෙනෙක් සිටියා. කැපකිරීම් කළ, වෙහෙස වුණු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම උදව් කළ අය, ඡන්දෙ දුන් අය ඉන්නවා. දිගු කලක් තිස්සේ අමාරුකම් දරාගෙන මේ ව්‍යාපාරය අල්ලාගෙන ආ අය, ව්‍යාපාරයට උදව් කළ අයට ජාතික ජන බලවේගය විදිහට අපි ඒ සියලු දෙනාටම අපේ ආචාරය පුද කරනවා. ස්තුතිය පුද කරනවා. ඒ සියලු දෙනාගේම ධෛර්යය තමයි අපිට අලුත් රටක් හැදීම සඳහා අවස්ථාව උදාකර දී තිබෙන්නේ. මේ ජයග්රහණයේදී නන් අයුරින් සහයෝගය දක්වපු, ඡන්දය දුන්, උදව් කරපු, සියලු දෙනාටම අපේ ස්තුතිය, ගරුත්වය, ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.
විශේෂයෙන්ම උතුරේ ජනතාව ඉතිහාසයේ පළමු වැනි වතාවට අනෙක් ප්‍රදේශයකින් ඉදිරිපත් වූ නායකයෙක් ගැන විශ්වාසය තබා තිබෙනවා. උතුරේ ජනතාව, නැඟෙනහිර ජනතාව, කඳුකර ජනතාව ජාතිවාදය පසෙක දමා දකුණේ ජනතාව සමඟ අත්වැල් බැඳගැනීම ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ජාතිවාදී නායකයන් විසින් පතුරවපු බොරු, බේගල්, වැරදි මත, නොමඟ යැවීම් විශ්වාස නොකර, රටක් ලෙස එකට සිතලා අප සමඟ අත්වැල් බැඳගැනීම ගැන අපේ ස්තුතිය පුද කරනවා. අපේ මතය සමාජගත කිරීම සඳහා, තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී අපට මුදල් ලබාදෙමින් උදව් කළ අයත්, මාධ්‍යවේදීන්, තමන්ගේ රැකියාවට තිබෙන අනතුරු පවා නොතකමින්, රට වෙනස් කිරීමේ අරමුණු සහිතව පොදු අරමුණකින් උදව් කළ විශාල පිරිස් හිටියා. ඒ හැමෝටමත් අපේ ස්තුතිය පුද කරනවා.
අපට ලැබී තිබෙන ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගෙන තිබෙනවා. ජනතාව විශාල විශ්වාසයක් අපි කෙරෙහි තබා තිබෙනවා. අපි ඒ විශ්වාසය ඒ වගේම රැකිය යුතුව තිබෙනවා. අවුරුදු 76ක කාලයක් පුරා රටේ දේශපාලන බලය හොබවපු දේශපාලන පක්ෂ පරාජයට පත්කර තමයි, මේ ජයග්‍රහණය අත්පත් කර දී තිබෙන්නේ. අපේ ජයග්‍රහණයේ වේගය බැලූ විට, පසුගිය ජනාධිපතිවරණයේදී අපි ලබාගත්තේ දළ වශයෙන් ඡන්ද 56,34,000ක ප්‍රමාණයක්. අපි එය මේ මහමැතිවරණයේදී 68,63,000ක් දක්වා වැඩි කර ගැනීමට සමත් වී තිබෙනවා. මාස එකහමාරක් තුළ ලක්ෂ 12කින් වැඩි කර ගැනීමට අපි සමත් වෙලා තිබෙනවා. සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේදී 43,63,000ක පමණ ප්‍රමාණයක් ලැබුවා. නමුත් මේ මැතිවරණයේදී 19,68,000ක් දක්වා අඩු වී තිබෙනවා. ඔවුන්ගෙන් ලක්ෂ 24කට කිට්ටු ඡන්ද ප්‍රමාණයක් ගිලිහී තිබෙනවා. ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්දවලින් අඩක්වත් ලබාගැනීමට ඔවුන් අසමත් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී ඡන්ද 22,99,000ක් පමණ ලබාගත්තා. මෙවර මැතිවරණයේදී ඔහුට ලක්ෂ 05ක පමණ ප්‍රමාණයක් පමණයි, ලබාගත හැකිවී තිබෙන්නේ. ඔහුගෙන් ලක්ෂ 17ක් පමණ ගැලවී ගොස් තිබෙනවා. මේ මාස එකහමාරක් තුළ මේ දේශපාලන පක්ෂ බිඳවැටීමක් සිදු වී තිබෙනවා.
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහලා, සමගි ජන බලවේගයේ අය සමාජය ඉදිරියේ කිව්ව බොරු, බියවැද්දීම්, නිසා ජනතාව කිසියම් දෙගිඩියාවකට පත්වුණා. නමුත් ගෙවුණු මාස එකහමාර තුළදී ඔවුන්ගේ බොරුවල ප්‍රමාණය ජනතාව තේරුම් ගත්තා. අපි ආවොත්, ආර්ථිකය, කොටස් වෙෙළඳපොළ, කඩාවැටෙයි, දේපොළ පවරා ගනියි, කිව්වා. රුපියල බාල්දු වෙනවා කිව්වා. කාර් දෙකකින් එකක් ගනියි, ලේ වැගිරීම් සිදු වෙයි, අස්වැසුම කපයි, රටේ විශාල විනාශයක් වෙයි කිව්වා. ආගම අදහන්න දෙන්නේ නැහැ කිව්වා. එවැනි බියවැද්දීම් කළ සමාජයක් ඇතුළේ තමයි අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ. නමුත් එයින් පසුව ගෙවුණු මාස එකහමාර තුළ ජනතාව තේරුම් ගත්තා ඒ ප්‍රකාශයන් සියල්ලම බොරු බව. ඒ නිසා අපිට උදව් කරන්න ජනතාවට ලෙහෙසි වුණා. බොරුවෙන් ජය ගන්න උත්සාහ කළ අය බොරුව නිසාම පරාජයට පත්වෙලා තිබෙනවා. පැරණි, වරප්‍රසාද සහිත, පවුල් පාලනය සහිත, ප්‍රභූ ජනතාව මත ආධිපත්‍යය පටවාගෙන හිටපු, මහජන මුදලින් යැපුණු දේශපාලනය දැන් අවසන් වී තිබෙනවා. අපි ජනතාවට කියනවා පැරණි යුගය අවසන්. දැන් තිබෙන්නේ පොදු ජනතාවගේ දේශපාලනයක්. එය තේරුම් ගත් ජනතාවගේ සහයෝගයක් මේ ජයග්‍රහණය තුළ තිබෙනවා.
ඒ වගේම ගතවුණු දින 50කට වැඩි කාලය තුළ, ජාතික ජන බලවේගයේ භාවිතය අපේ රටේ ජනතාව පිළිගෙන තිබෙන බව පේනවා. අපි සරල රාජ්‍ය පාලනයක් පටන් ගත්තා. මහජන මුදල් නාස්ති නොකර වැඩ කරන්නේ කොහොමද කියා ඔප්පුකොට පෙන්නුවා. ජනතාවට වඩා උඩින් ඉන්න ප්‍රභූත්වයක් පෙන්නුවේ නැහැ. ජනතාව සමඟ වැඩ කරන සරල මිනිස්සු බව, අවංකව වැඩ කරන බව පෙන්නුවා. ඒවත් අපේ ඡන්ද වැඩි කර ගැනීමට හේතු කාරක වෙන්න ඇති කියා අපි හිතනවා. අපේ ජනතාව මේ ආකාරයෙන් අපව විශ්වාස කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කිරීමේ අභියෝගය අපට තිබෙනවා. පාර්ලිමේන්තුවේ බලය අපිට 2/3 ඉක්මවා ගොස් තිබෙනවා. මේ ලැබී තිබෙන අධික බලය පරෙස්සමට පරිහරණය කරන්න අපි පරෙස්සම් වනවා. පාර්ලිමේන්තුවට 2/3ක වැඩි බලයක් දෙන්න එපා යන මතයක් ගොඩනැඟී තිබුණේ ඇයි? 1977න් පස්සේ ලැබුණු අධික බලය පාලකයන් පාවිච්චි කළේ, ජනතාව මර්දනය කර, යටපත් කරලා, ජනතා හඬට ඇහුම්කන් නොදෙන, මහජන දේපොළ ඇති තරම් භුක්ති විඳින්නයි. ජනතාවට වඩා උඩින් ජීවත් වෙන, බලයෙන් ඉදිමෙන, මත්වෙන දේශපාලනයක් අතීතයේ තිබුණා. ඒක පරද්දන්න ඕනෑ.
අපි දේශපාලන බලයෙන් මත් වෙන්න යන්නේ නැහැ. මේ බලය ජනතාව දුන් බලයක්. එය අතිශය පරෙස්සමින් ජනතාවගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියන වගකීමක අපි ඉන්නවා. ජනතාව පීඩාවට පත්කිරීමට හෝ බලයට පත්වුණු අයගේ පැවැත්ම සඳහා හෝ නොව මේ රට ගොඩනඟන්න, ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න, වංචා දූෂණවලින් තොර හොඳ පාලනයක් නිර්මාණය කරන්න, ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා මේ බලය පාවිච්චි කරන බවට අපි සහතිකයක් ජනතාවට දෙනවා. මේ ජනවරමේ ගැඹුර, බර අපට හොඳින්ම තේරෙනවා. අපි භාරගෙන තිබෙන්නේ සරල රටක් නොවෙයි. මේක විනාශ කරපු රටක්. ආර්ථික වශයෙන් බංකොලොත් කරපු, ණය බරින් මිරිකුණු, ණය බර නිසාම මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගහන්න සිදු වුණු රටක්, දුප්පත්කමින් පිරුණු තුන්වේල කන්න බැරි වුණු, අපරාධ වැඩි වුණු, මත්ද්‍රව්‍ය වැඩි වුණු, සෑම පැත්තකින්ම විනාශ වුණු, ජාත්‍යන්තරය තුළ අපේ ප්‍රතිරූපය විනාශ වුණු රටක් අපි ඉදිරියේ තිබෙනවා. අපේ රට පාලකයන් මුළු ජීවිත කාලයම මහජන මුදල්වලින් ජීවත් වීමේ ක්‍රමය කරගත් රටක්.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මෙවර මැතිවරණයේදී, පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සහිත දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. අපට ඡන්දයක් නොදුන් කෙනාව පීඩාවට පත් කරන ජය සැමරීමේ සංස්කෘතියක් අපි නිර්මාණය කළේ නැහැ. ඒ නිසා අපිට ඡන්දය නොදුන් අයට පවා මෙවර අපට ඡන්දයක් දෙන්න ලේසි වුණා. අපි විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අපි උද්දාම වුණේ නැහැ. මේ ජයග්‍රහණයට අපි වගකියන්න ඕනෑ. මෙතනින් පස්සේ ජයග්‍රහණය කළ අය හා පරාජිතයන් කියා කණ්ඩායම් දෙකක් නැහැ. අපි සියලු දෙනාම මේ රටේ පුරවැසියන්. මේක රටේම ජයග්‍රහණයක්. මුස්ලිම්, දෙමළ, සිංහල, බර්ගර්, මැලේ, බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු අපි හැමදෙනාම එකට එකතු වෙලා, මේ වට්ටපු රට ගොඩගැනීම අපේ වගකීමයි. ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා අපිත් සමඟ එකතු වෙන්න. අපට තිබෙනවා ජාතික පුනරුද කාර්යභාරයක්. ජාතික පුනරුදයක්, ආර්ථික පුනරුදයක්, දේශපාලන පුනරුදයක්, සංස්කෘතියේ පුනරුදයක්, මිනිස් චින්තනයේ පුනරුදයක් නිර්මාණය කර, ලෝකය තුළ අපේ රට බැබළෙන රටක් බවට පත් කරන්න මෙතැන් සිට හැමදෙනාම වැඩ කරමු. පොදු ජනතාව අපට ලබාදුන් ජනවරම රට ජයග්‍රහණය කරවීමේ අරමුණ වෙනුවෙන් පමණක් පාවිච්චි කරන බවට සහතික කරනවා. මේ ජයග්‍රහණයට සියලුම අයුරින් සහයෝගය දුන් සියලුම දෙනාට සහෝදරාත්මක ස්තුතිය පළ කරනවා. ලංකාවෙන් පිට සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාට ආරාධානා කරනවා රට හදන්න එක්වන ලෙස.
ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.