කුසල්ගෙන් චරිත්ට චරිත සහතිකයක්

වත්මන් ක්‍රිකට් නායක චරිත් අසලංක තැනට ඔබින නුවණ ඇති දක්ෂ නායකයකු බවත්, ඔහු ක්‍රීඩා පිටියේදී ගන්නා තීරණ බොහෝ විට නිවැරදි ඒවා බවත් ශ්‍රී ලංකා පිලේ අංක තුන පිතිකරු හා හිටපු නායක කුසල් මෙන්ඩිස් පැවැසීය. මෙන්ඩිස් එලෙස අසලංක පිළිබඳ චරිත සහතිකයක් ලබාදුන්නේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පෙරේදා නිමාව දුටු ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමු‍වේදීය.

“චරිත් අවශ්‍ය වේලාවට නායකයෙක් විදිහට කළ යුතු දේ දන්නවා. පන්දු යැවිය යුතු ආකාරය පිළිබඳ ඔහු ගන්නා තීරණ නිවැරදියි. චරිත් 19න් පහළ ඉඳලා හොඳින් පන්දු යැවූ ක්‍රීඩකයෙක්. නායකත්ව භූමිකාව ගොඩක් හොඳින් තෙරුම් ගෙන කරනවා. ජනිත්, කමිඳු හා චරිත් හොඳින් පන්දු යවන නිසා අපට තරග ජය ගැනීම දැන් අපහසු නෑ. අවශ්‍ය වෙලාවට ඒ තුන්දෙනාම අවශ්‍ය දේ කරනවා. අපේ සංචිතයේ ඒ ඒ තත්ත්වයන් අනුව ක්‍රීඩා කිරීමට හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. ඒ නිසා ඉදිරියේදී කණ්ඩායම තේරීමේදී විශාල තරගයක් ඇති වෙන්න පුළුවන්” කුසල් මෙන්ඩිස් පැවැසීය.

නවසීලන්තයට එරෙහි පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලේ සැලසුමවී තිබිණේ සියලු දෙනා දවා ගැනීම නොව ලකුණු වේගය අඩු කිරීම බවද මෙන්ඩිස් සඳහන් කළේය.

“අපේ ප්ලෑන් එක තිබුණේ ලකුණු නොදී, ඔවුන්ට ඕවරයකදී ගත යුතු ලකුණු වේගය වැඩි කර දෙන්නයි. වැස්සට පස්සේ පින්නත් එක්ක පන්දු යැවීම ලේසි නෑ. අනික පන්දුවට පහරදීම ඔවුන්ට පහසු වුණා. ඒක පාලනය කරන්න අපේ පන්දු යවන්නන් සෑහෙන්න හොඳට කළා”

“නිමාවූ ලෝක කුසලානයේදී නායකත්වය මට ලැබුණාම පීඩනයක් දැණුනේ නෑ කියන්න බෑ. නායකයා වෙන්න කලින් ලකුණු අතර හිටියා. නායකත්වය ලැබුණාම මම ෆේල් වුණා කියා කාට හරි කියන්න පුළුවන්. නමුත් ඒ වේලාවේ හැමදෙනාම මට කිව්වේ සාමාන්‍ය විදිහට පන්දුවට පහර දෙන්න කියලයි. විස්සයි20 හා එක්දින තරග රටා දෙකේම පළමුවෙනි පන්දු කීපය මම ටිකක් වෙලා අරන් පසුව පහර දෙන එක මගේ රටාව” මෙන්ඩිස් පැහැදිලි කළේය.

සිහින් සිරි පොද වර්ෂාව පතිතවී පැය තුනක පමණ කාලයක් අපතේ ගිය තරගයේදී ඩක්වර්ත් – ලුවිස් න්‍යාය අනුව ඕවර 27ක් තුළදී ලකුණු 221ක ඉලක්කයක් නවසීලන්ත පිලට ලැබුණද, ඔවුන් ලකුණු 175කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක ජයක් අත්කර ගත්තේය. ඒ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණියේය.

කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු යුගලයේ ගිනිකෙළි සංදර්ශනයෙන් අලංකාර වූ ශ්‍රී ලංකා ඉනිම ඕවර 49.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 324ක් වූ අතර, කුසල් හා අවිශ්ක දෙදෙනා දෙවැනි කඩුල්ලට පන්දු 215කදී ලකුණු 206ක් රැස් කිරීමෙන් ලකුණු පුවරුව වේගයෙන් ඉහළ ගියේය.

එක්දින ඉනිම 21කට පසු ශතකයක් වාර්තා කළ කුසල් තම එක්දින දිවියේ හොඳම ඉනිම වාර්තා කරමින් පන්දු 128කදී හයේ පහර 2ක් හා හතරේ පහර 17ක් සමඟ ලකුණු 143ක් ලැබූ අතර, රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පිතිකරුවෙකු රුස් කළ ඉහළම ලකුණු වාර්තාව ද කුසල් මෙන්ඩිස් සතු කර ගත්තේය. කුසල් හා අවිශ්ක වාර්තා කළේ ඔවුන්ගේ 4 වැනි එක්දින ශතක වූ අතර, අවිශ්ක පන්දු 115කදී හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 100ක් ලබාගත් සැණින්ම ක්‍රීඩාගාරයට ගියේය.

චරිත් අසලංක පන්දු 28කදී හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමඟ ඉක්මන් ලකුණු 40ක් වාර්තා කළේය.

දෙරට අතර දෙවැනි එක්දින තරගය මේ 17 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.