ලබාදුන් බලය ඇතුළේ ජනතාවගේ පරීක්ෂාවට අප නිරතුරුවම භාජනය වනවා-35 වැනි ඉල්මහ විරු සමරුවට එක් වෙමින් ජනපති අනුර කියයි

ඉල්මහ විරුවන්ගේ සුවිශේෂ ලක්ෂණය අරමුණු අත්හැර සුවපහසු පාරක් තිබියදී අරමුණු වෙනුවෙන් දුෂ්කර පාරක් තෝරාගැනීමයි

අපට දුන් බලය ඇතුළේ අප මහජනතාවගේ පරීක්ෂාවට භාජනය වන බවත්, නිර්මාණය කරන බලය විසින් සිතු දේ රිසි පරිදි කළ හැකිය යන මනෝභාවයෙන් කටයුතු කළ හොත් ඒ පරීක්ෂාවෙන් අසමත් වන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙරේදාට (13) යෙදී තිබුණු 35 වැනි ඉල් මහ විරු සමරුව නිමිත්තෙන් කොළඹදී පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය:

“අද අපි එකතු වෙලා ඉන්නේ 35 වැනි වරටත් ඉල් මහ විරුවන් සමරන්නයි. අප මීට ප්‍රථම අපේ විරුවන් සැමරුවේ, බලය අත්පත් කරගැනීම සඳහා පොරබදන ව්‍යාපාරයක් ලෙසටයි; බලය අත්පත් කරගැනීම සඳහා ඔවුන්ගේ ආදර්ශ, පරිත්‍යාග උකහා ගනිමින් ඉදිරියට යා යුතු ව්‍යාපාරයක් ලෙසයි.

අද අප ඔවුන් සමරන්නේ බලය අත්පත් කරගත් ව්‍යාපාරයක් ලෙසයි. පැරණි අවධියේ අභියෝග සහ අලුත් අවධියේ අභියෝග අතර විශාල වෙනසකට අද අපට මුහුණ දීමට සිදු වී තිබෙනවා. එය අප තේරුම්ගත යුතුයි.

“එදා පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, දේශපාලන බල මණ්ඩලයේ සහෝදරවරු, මධ්‍යම කාරක සභාව වගේම අපට යම් ආහාර වේලක් පිරිනැමූ අය පවා ඇතුළත්ව විශාල පිරිසක් ඝාතනය කරනු ලැබුවා. පාලක පන්තිය, ඔවුන් ඝාතනය කිරීම දක්වා වූ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමෙන් සිදු වුණේ පාලක පන්තියේ ස්වභාවය, ඔවුන් අප කෙරෙහි දක්වන ප්‍රතිවිරෝධි ආකල්පයේ සැබෑ තරම තේරුම් ගත හැකි වීමයි.

“අප 1978 වසරේ යළි ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ප්‍රවාහයට, ඉතා සාමකාමිව ප්‍රවිෂ්ට වූවා; ඒ වසරේ පැවැති අතුරු මැතිවරණවලට තරග කළා. 1981 සංවර්ධන සභා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ජනය කරද් දී, අප තරගයට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණයට අප තරග වැදුණා. ප්‍රජාතන්ත්‍ර විරෝධිව මැතිවරණය කල්දැමීම සඳහා වූ ජනමත විචාරණයට එරෙහිව සටන් වැදුණා. මැතිවරණ ක්ෂේත්‍රය දෙස බැලුවත් අප ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නඟන, එයට අනුකූලව වැඩ කරන, ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් කරගැනීම සඳහා වෙහෙස වන ව්‍යාපාරයක්; ඊට අමතරව මැතිවරණ පෙරමුණේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින, ඒ වෙනුවෙන් ශක්තිමත්ව සටන් වදින, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන් හැටියට කටයුතු කරන පක්ෂයක්. එසේ කටයුතු කරමින් සිටිය දී 1983 ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද සිදුවීම් උපයෝගි කරගෙන අප තහනම් කළා. ඔවුන් අප නිශ්චිත හැරවුමක් ලෙස තහනම් කරනවා. අප දේශපාලන වශයෙන් තහනම් කිරීමට හේතු වන්නේ කුමක්ද? අප ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට පැන්නාද? අනවශ්‍ය ගැටුම් නිර්මාණය කිරීමට මැදිහත් වුණාද? නැහැ. ඔවුන් අප තහනම් කිරීමට හේතු වන්නේ අපේ අරමුණුයි. අප අපේ අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා තෝරාගෙන තිබෙන මාවත ඔස්සේ ජයග්‍රහණය කරා යමින් සිටියා. ඒ නිසා ඔවුන්ට විශාල වුවමනාවක් තිබුණා අපේ අරමුණු පරාජය කරන්න. ඒ අරමුණට ඔවුන් බිය වුණා.

අප විසින් තෝරාගත යුතු මාවත් දෙකක් තිබුණා. එකක් අරමුණ අත්හැරීම. අනෙක තහනමට යටත්ව අරමුණ වෙනුවෙන් කටයුතු කිරීම. ඉල්මහ විරුවන්ගේ සුවිශේෂ ලක්ෂණයම තමයි, අරමුණු අත්හැර සුවපහසු පාරක් තිබිය දී, අරමුණු වෙනුවෙන් දුෂ්කර පාරක් තෝරාගැනීම. අපේ පැරණි සහෝදරවරුන්, විරුවන්, අරමුණු වෙනුවෙන් ඊට අනුරූපි ක්‍රියාමාර්ගවල ගමන් කළා. එවිට පාලක පන්තියට ඊළඟට අවශ්‍ය වුණේ කුමක්ද? අරමුණු මරාදමන්න නොහැකි නම්, අරමුණු දරන මිනිසුන් මරාදැමීම ඊළඟ පියවර වුණා. ඔවුන් අවසානයේ කියන්නේ ‘මැච් එක ඉවරයි’ කියලා. එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ අරමුණත් අවසන්, අරමුණු දරපු මිනිසුනුත් අවසන් කියන එක.

“නැවත අප 1989න් පස්සේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරනවා. අපට නැවත නැඟිටින්න, නැවත මේ ව්‍යාපාරය ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් කරන්න, අපට බලපෑම් ඇති කරන්නේ අරමුණුම තමයි. අපට ධෛර්යය දෙන්න, නැඟිටුවන්නෙ අරමුණු තමයි. මකන්න බැරි, යට කරන්න බැරි අරමුණු අපේ අධ්‍යාත්මය තුළ තිබෙනවා. නැවත අපට නැඟිටින්න, අපට සංවිධානගත වෙන්න නැවත ජයග්‍රහණය සඳහා ව්‍යාපාරය මෙහෙයවන්න අප පොලඹවන්නේ අරමුණු විසින් ඇති කොට තිබෙන බලපෑමයි. නැවත අප 94න් පසුව දේශපාලන ගමන් මඟට අවතීර්ණ වුණා. අප පක්ෂයක් ලෙස විශාල හැලහැප්පීම්වලට මුහුණ දුන්නා; පරාජයන්ට මුහුණ දුන්නා. ව්‍යාපාරය ඇතුළේ බෙදීමක් ඇති වුණා. ඒ ඒ මොහොතට අදාළයැයි ගත් තීන්දු පසු කාලෙක අපට වැරදුණාදැයි මානසික පීඩනයක් ඇති කළා. විශාල හැලහැප්පීම් මධ්‍යයේ අප ජයග්‍රහණය කරා ගමන් කරමින් ආවා. සැප්තැම්බර් මාසෙ 21 අපි ජයග්‍රහණය අත්පත් කරගන්නේ ඒ ගමන් මාවතේ තීරණාත්මක අවස්ථාවේදීයි.

“අද මහජනතාව අපට දුන් බලය ඇතුළේ අප මහජනතාවගේ පරීක්ෂාවට භාජනය වෙනවා. අප කෙරෙහි පූර්ණ විශ්වාසය, අර්ධ විශ්වාසය, ඒ වගේම අප කෙරෙහි පරීක්ෂාකාරි විශ්වාසයක් තිබෙනවා. අප පරීක්ෂාකාරි විශ්වාසය සමත් විය යුතුයි. අප හැම විටම ජනතාවගේ පරීක්ෂාවකට භාජනය වෙමින් ඉන්නවාය කියන මනෝභාවය අප තුළ තිබිය යුතුයි. නිර්මාණය කරන බලය විසින් සිතු දේ රිසි පරිදි කළ හැකියි යන මනෝභාවයෙන් කටයුතු කළ හොත් අප පරීක්ෂාවෙන් අසමත් වෙනවා. අපේ විනිශ්චයකරුවන් වන්නේ මහජනතාවයි. මහජනයා පසෙක තබා බලය ඉත්තකු ලෙස පරිහරණය කරන්න පටන් ගත හොත් අපේ අරමුණු දිය වී යනවා. මේ අලුත් තත්ත්වයට අනුරූපි වන පරිදි අප වෙනස් විය යුතුයි.”

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා:

“අද මේ 35 වැනි ඉල්මහ විරු සමරුව පවත්වන්නේ විශේෂත්වයක් තුළයි. මෙතෙක් අපි බලය ලබාගැනීම සඳහා වෙහෙසෙන, ඒ වෙනුවෙන් සටන් කරන, කැප කිරීම් කරන පරම්පරාවක් හැටියට ඉල්මහ සැමරුම කළා. අද අප ඉතිහාසයේ පළමුවැනි වතාවට මේ රටේ බලය පොදු ජනතාව අතට පත් වී ඇති මොහොතක ඉල්මහ සැමරුම පවත්වන්නේ, බලය තහවුරු කරගනිමින් මේ රට ගොඩනැඟීමට වැර දරන පරම්පරාවක් හැටියටයි. ගිය අවුරුද්දේ ඉල්මහ සමරුව සමරද් දී අපි, ඊළඟ සමුළුව පවත්වන්නේ අපේ රජයක් යටතේ දී බව කිවුවා. අපට එය ඉටු කරගැනීමට අද හැකි වෙලා තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබාගෙන මැතිවරණ පවත්වමින් යන වෙලාවක අපට නිරන්තරයෙන් සිහි වන්නේ අපේ මියගිය සහෝදරවරුන්, සටන් කළ, දිවි පිදූ අය හිටියා නම් හොඳයි කියලා. අප මේ සමරන්නේ මීට අවුරුදු 35කට කලින් අපෙන් උදුරාගත් අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, හිටපු ප්‍රධාන ලේකම් ගමනායක සහෝදරයා ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයකගේ දිවි පිදීම, කැප වීමයි. ‘ඔවුන් මේ ජයග්‍රහණ දැකීමට හිටියා නම්‘ කියන හැඟීම අනිවාර්යයෙන් එනවා. කාල් මාක්ස් මිය ගිය වෙලාවේ, ඔහුගේ සොහොන අසල දී එංගල්ස් කථා කරමින් කිවුවා, ‘මේ දර්ශනය දැකබලාගැනීමට මාක්ස් මා ළඟ සිටියා නම්’ කියලා. ඒ වෙලාව ලෝකයේම කම්කරු පන්තිය පැය අටක සේවා දිනයක් ඉල්ලා ජයග්‍රහණය ලබමින් සිටි අවස්ථාවයි. අප ජයග්‍රහණය ලබා සිටින මේ අවස්ථාවේ අපේ නිර්මාතෘ, නායකයන්, අනෙකුත් සහෝදර සහෝදරියන් අප ළඟ සිටියා නම් මේ මොන තරම් උණුසුම් මොහොතක් වනවා ඇද්ද? අපට පැවරී තිබෙන්නේ ඒ හැඟීම් හදවත තුළ රුවාගෙන අප පවරාගෙන තිබෙන කාර්යයන් ඉටු කරමින් ඉදිරියට යෑමයි.

“යුග දෙකක් එක්වර නියෝජනය කරන පරම්පරා දෙකක් ලෙස තමයි අප අද මේ එකතු වී ඉන්නේ. පැරණි යුගයේ අත්දැකීම්, ආරම්භ කළ යුගය නිර්මාණය කරගැනීම සඳහා උකහාගැනීමට පුළුවන්කම තිබෙනවා. අපට ඉතිහාසය ගොඩනඟනවා වගේම ඉතිහාසය ලියන්නත් සිදු වී තිබෙනවා.

මෑත ඉතිහාසය තුළ අප ගැන 80%ක පමණ ප්‍රබන්ධයක් තිබෙනවා. ඒ ප්‍රබන්ධය ඇතුළේ ජනතා විමුක්ති පෙරමුණේ අප සිර කර තැබුවා. ඒ නිසාම අපට සමාජය තුළ තිබුණේ ඉතා අවාසිදායක තත්ත්වයක්. අප වාමාංශිකය කියන එක ජනතාවගෙන් ප්‍රතික්ෂේප කරවීමට යොදාගත්තා. ඒ නිසා පැවැති දූෂිත ප්‍රභූ පාලනය තුළ, අධිපති පාලනය තුළ ඒගොල්ලන්ගේ මතවාදයක් නිර්මාණය කරලා, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රගතිශීලි බලවේගවලට සමාජයේ හිමි විය යුතු තැන නැති කරමින් සිටියා. අප පිළිබඳ මිථ්‍යාවලින් පිරුණු, අසත්‍යයෙන් පිරුණු ඉතිහාසයක් ලියුවා. ඒ ඉතිහාසය තුළ තවමත් අසත්‍ය කරුණු මතක් කරමින් යන්නේ පාලක පන්තිය පමණක් නොවෙයි. අපේ ඉතිහාසයට පිටුපාපු, එයින් කැඩී වෙන් වුණු අයත් ජනතා විමුක්ති පෙරමුණට මඩගැසීම අරමුණු කරගෙන තිබෙනවා. ඔවුන් ඉතිහාසය විකෘති කරමින් ඉන්නවා. ඒ නිසා අපට ඉදිරි කාලයේ ලොකු කාර්යභාරයක් පැවරී තිබෙනවා, මේ නොලියූ ඉතිහාසය නැවත ලියන්න.

“ඉතිහාසය අලුතෙන් ලියන අය විදිහට අප අලුත් සමාජයක් හදන්න පටන්ගෙන තිබෙනවා. බලයේ සිටි අයගේ ගුණාංග අප තුළට රිංගවීමට ගන්නා උත්සාහයන් පරාජය කරමින් අප තුළ තිබෙන ගුණාංග සමාජයේ ගුණාංග බවට පත් කරන්න අරමුණු කරගත්ත, පරිස්සමෙන් හා ඉවසීමෙන් කරන දේශපාලන මැදිහත් වීමත් මතවාදි මැදිහත් වීමත් ආර්ථික මැදිහත් වීමත් අපට අවශ්‍යයි. සියලු බලවේග එකතු කරගනිමින් බලයක් නිර්මාණය කරගනිමින් සාධාරණ සමාජයක්, යුක්තිගරුක දේශයක් ගොඩනඟන්න පටන් ගෙන තිබෙනවා. ඉල්මහේ විරුවන්ට කළ හැකි එකම උපහාරය ඔවුන් පැතූ ලෝකය අපේ දෑතින් ඉදි කිරීම කියලා අප අදත් කියනවා. මේ වෙනුවෙන් දිවි පිදූ සහෝදරවරුන්, ඒ වගේම කැප වුණු සහෝදරවරුන් රාශියක් ඉන්නවා. ඒ සියලු දෙනා කළ කිසිවක් අපතේ ගිහින් නැහැ. දිවි පුදන අවස්ථාවේ ඔවුන් ප්‍රාර්ථනා කළ ලෝකය ගොඩනැඟෙන්න පටන් ගෙන තිබෙනවා. අප අපේ පරම්පරාවේ දී ඒ සමාජය ගොඩනැඟීම අවසන් කරන බවට සපථ කරනවා.”