ඡන්දය දාන්න ගිය දඹාන ආදිවාසි උපනායකට පොරොව හරහට

පොරොව කර මත තබා ගනිමින් දඹාන ආදිවාසි ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයට ගිය ආදිවාසි උපනායක ගුණබණ්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිසට මධ්‍යස්ථානය භාර නිලධාරිවරයා විසින් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා නොදීමේ සිද්ධියක් ඊයේ (14) වාර්තා විය. උපනායකවරයා ආදිවාසි සංස්කෘතියේ අනන්‍යතාව වන ‘පොරොව’ කර මත තබා ගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි බව පවසමින්, මධ්‍යස්ථාන භාරකාරවරයා ඔහුට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී නැත.

ඒ හේතුවෙන් උපනායකවරයා ඇතුළු පවුලේ සැම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී නැවත හැරී පැමිණ ඇත.

පසුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ආදිවාසි නායක විශ්වකීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලැත්තන් ‘පොරොව’ කර මත රඳවා ගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී කිසිදු ගැටලුවකින් තොරව ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානාධිපති අවස්ථාව ලබා දී ඇත. ඉන්පසු ආදිවාසි නායක ඇතුළු පරපුරේ අනෙක් පිරිසට ද කිසිදු ගැටලුවකින් තොරව පොරව කර මත තබා ගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබී ඇත.

ආදිවාසි උපනායකවරයා මුහුණ දුන් එම සිද්ධිය පිළිබඳ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින්, ආදිවාසි නායක ප්‍රකාශ කළේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් හා ආදිවාසි සංස්කෘතිය පිළිබඳ නොදන්නා මෙවන් නිලධාරින් මෙවැනි සංස්කෘතියක් පවතින ගම්වල ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද රාජකාරි සඳහා යොමු කිරීමෙන් වැළකී සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

ආදිවාසි සංස්කෘතික අංගයක් වන කර මත රැඳි ‘පොරොව’ සහිතව, විදෙස් සංචාර සේම, ගුවන්තොටුපොළට හා අධිකරණවලට යා හැකි නම්, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමණක් ඡන්ද මධ්‍යස්ථානවලට යා නොහැක්කේ මන්ද යන්න හෙතෙම ප්‍රශ්න කර තිබේ.