චාල්ස් රජු 76 වැනි උපන් දිනය සමරයි

ආහාර දරිද්‍රතාව සහ ආහාර නාස්තිය අතර පරතරය අවම කිරීමේ අරමුණ ඇතිව පසුගිය වසරේදී ආරම්භ කරනු ලැබූ රාජාභිෂේක ආහාර ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් විවෘත කරමින් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය ඊයේ සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු ලන්ඩන් නුවර පැවැති එක් ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් විවෘත කළ චාල්ස් රජු දෙවැනි ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානය වයඹදිග එංගලන්තයේදී විවෘත කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

චාල්ස් රජුගේ ආහාර සුරක්ෂිතාව හා ආහාර බෙදා හැරීමේ ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍ය පුරා ස්ථාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, දැනටමත් පවුම් මිලියන 15ක අරමුදලක් ද පිහිටුවා ඇතැයි වාර්තා වේ. රජුගේ ආහාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා සැලකිය යුතු අයුරින් ආහාර නාස්තිය අවම වී ඇති බවත්, ආහාර මෙට්‍රික් ටොන් 940ක් ඉතිරි කරගැනීමට හැකිවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ප්‍රජා ආහාර ප්‍රදානය සඳහා පියවර ගැනීමට හා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට බ්‍රිතාන්‍යයේ විවිධ සුබසාධන ආයතන 33කට පවුම් ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් චාල්ස් රජුගේ ආහාර ව්‍යාපෘතියෙන් ලබා දී ඇතැයි ද වාර්තා වේ.