ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.30ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. වසර 2018න් පසු දඹුලු ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් පවත්වා නැති හෙයින් වසර 6කට පසු දිවා – රාත්‍රී එක්දින තරගාවලියක් දැක බලා ගැනීමේ අවස්ථාව දඹුල්ලේ රසික පිරිසට හිමිව ඇත.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර නිමාවූ විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයකට පත්වීම නිසා දෙපිලම මේ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය අපෙක්ෂාවෙන් පසු වෙති.
දඟ පන්දු යවන වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ අද තරගයට එක්වන අතර, ආරම්භක පිතිකරුවන් ලෙස අවිශ්ක ප්‍රනාන්දු හා පැතුම් නිස්සංක පිටියට පිවිසීමට නියමිතය. අවිශ්ක කොදෙව් තරගාවලියේ තරග දෙකකදී අසාර්ථක වුවද, මේ තරගයේ අවස්ථාව ලබාදිය යුතු බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී නායක චරිත් අසලංක පැවසීය.
“පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ඇතුළේ අපි හොඳින් එක්දින තරග ක්‍රීඩා කළා. වනිඳු වෙනුවට වැන්ඩර්සේ සංචිතයේ ඉන්නවා. ඔහු ඉන්දියාව සමඟ තරගාවලියේදී කඩුලු 6ක් ලබා ගත්තා. අපේ සංචිතයේ ගොඩක් දක්ෂ අය ඉන්නවා. ඒ නිසා තරගයක් තියෙනවා ක්‍රීඩකයන් තේරීමේදී. අවිශ්ක ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ යුතුයි. ඔහු කොදෙව් තරගාවලියේදී තරග දෙකක් අසාර්ථක වුණා. නමුත් අවසන් තරගයේදී හොඳින් ලකුණු රැස් කළා. ක්‍රීඩකයන් නිතර වෙනස් කිරීම හොඳ දෙයක් නොවෙයි කියන මතයේ මා ඉන්නේ. තේරීම් කමිටුව හා අපි හැම දෙනාගේම මතය ඒකයි. අවිශ්කට අවස්ථාව ලැබෙයි” චරිත් අසලංක පැවසීය.
“අද තරගයේදී වේග පන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කරනවා. මේ තණතිල්ල දඟ කැවෙන එකක් නෑ කියා හිතෙනවා. නවසීලන්ත ක්‍රීඩකයන් පිළිබඳ අපි අවධානයෙන් ඉන්නවා. මේ තරගාවලිය ජයග්‍රහණය කිරීම වැදගත්” ශ්‍රී ලංකා එක්දින නායකයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මේ එක්දින ක්‍රිකට් තරගාවලියට පිවිසෙන්නේ වඩාත් ශක්තිමත් වාර්තා සමඟිනි. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තත්ත්වය ඔවුන් හොඳින් හඳුනන අතර එමඟින් ඔවුන්ට වාසිදායක තත්ත්වයක් උදාකර ගත හැක. ශ්‍රී ලංකා පිල සහභාගිවූ අවසන් එක්දින තරග 12කදී ජයග්‍රහණ 10ක් ලබා ඇති හෙයින් මෑතකාලීන දස්කම් දිරිගන්වන සුළු එකකි.
පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක වැනි ප්‍රධාන පිතිකරුවෝ ස්ථාවරව සිටින අතර, දුනිත් වෙල්ලාලගේ හා මහීෂ් තීක්ෂණ දඟ පන්දු අංශයේ පෙරමුණ ගෙන සිටිති.
නවසීලන්තය ඔවුන්ගේ අවසන් එක්දින තරග 15දී ජයග්‍රහණ 3කට සීමාවී ඇත. දැවැන්ත ප්‍රහාරකයින් සිටියද මෑත කාලීන එක්දින තරග රටාව ඉදිරියට පැමිණ නැත. ග්ලෙන් ෆිලිප්ස් සහ විල් යංග් පෙළගැස්ම තුළ ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකි.
ගිගුරුම් සහිත වැස්සක් පුරෝකථනය කර ඇති නිසා තරගය අතරතුර වර්ෂා බාධා අපේක්ෂා කෙරේ. කාලගුණ අනාවැකි අනුව ක්‍රීඩාව අතරතුර වර්ෂාපතනයට 5%ක සම්භාවිතාවක් ඇති අතර, එය සුළු බාධාවක් විය හැකිය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගවලින් 57%කට ආසන්න ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත්තේ හඹාගිය කණ්ඩායම විසිනි. එබැවින් කාසියේ වාසිය තරගයේ තීරණයට වැදගත් වනු ඇත.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මෙතෙක් පැවති එක්දින තරගවලදී 2012න් පසු ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් වසර 12ක් තිස්සේ දිනා නැත. තරග 102ක් දෙරට අතර පවත්වා එයින් 52ක් නවසීලන්තය හා 41ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර, විසඳුමක් නැති තරග 8ක් හා ලකුණු සමවූ තරගයක් වාර්තා පොතේ සඳහන්ව තිබේ.