ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 66ක් පසුපසින්

පාකිස්තාන සහීන්ස් (‘ඒ’) කණ්ඩායම සමඟ රාවල්පින්ඩිහිදී පැවැත්වෙන පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 77ක් රැස් කර ගෙන සිටියේය.

මේ තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 115කට දවාගත් පාකිස්තාන සහීන්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 258ක් රැස් කළහ. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 143ක් පසුපසින් හිඳිමිනි. ඒ හේතුවෙන් දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 9ක් අතැතිව පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 66ක් පසුපසින් සිටියේය.

නිපුන් ධනංජය ලකුණු 23ක් සහ අහන් වික්‍රමසිංහ ලකුණු 48ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

දෙවැනි ඉනිමේ පළමු ඕවරයේදීම ශ්‍රී ලංකා පිලට පළමු කඩුල්ල අහිමි වූයේ ඕෂද ප්‍රනාන්ද ලකුණු රැස් කිරීමටත් පෙර දැවී යෑමෙනි. පළමු ඉනිමේදී එක් ලකුණකට දැවී ගිය ඔහු ඉනිම දෙකේදීම මුහුණදී තිබුණේ පන්දු 5කට පමණි.

කඩුලු 2ක් දැවී ලකුණු 66ක් ලබා සිටියදී ඊයේ දිනය ඇරඹූ පාකිස්තාන පිලට අර්ධ ශතක එක් කිරීමට අලි සර්යුබ් (55) හුසේන් තලාත් (56) සහ රොහයිල් නසීර් (55) සමත් වූහ. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ දැමූ අතර, ඉසිත විජේසුන්දර් සහ නිසල තාරක කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 115 (ඕවර 33.1) සොනාල් දිනූෂ 30, පසිඳු සූරියබණ්ඩාර 28, විෂාද් රන්දික 18 (කාෂිෆ් අලි 31/5, කුර්රාම් ශෙහ්සාඩ් 32/4)

පාකිස්තාන සහීන්ස් පළමු ඉනිම – 258 (ඕවර 82.1) හුසේන් තලාත් 56, අලි සර්යුබ් 55, රොහයිල් නසීර් 55, අබ්දුල් ෆාසී 26 (විශ්ව ප්‍රනාන්දු 44/4, ඉසිත විජේසුන්දර 49/2, නිසල තාරක 57/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම – 77/1 (ඕවර 20) අහන් වික්‍රමසිංහ නොදැවී 48, නිපුන් ධනංජය නොදැවී 23