අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාව, අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය ඔක්තෝබර් මස 23 වැනිදා එම සංචාරක උපදේශනය එරට පුරවැසියන් වෙනුවෙන් නිකුත් කරන ලද අතර, නැවත දැනුම් දෙන තුරු අාරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එම තානාපති කාර්යාලය දැනුම් දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නැවත දැනුම් දෙනතුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස මෙරට සිටින එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි අතර අදාළ නිවේදනයෙන් අනතුරුව තවත් රටවල් කිහිපයක් එම රටවල පුරවැසියන්ට මෙම කලාපවල සංචාරය කිරීමෙන් වළකින ලෙසත් ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය. එම තත්ත්වය හමුවේ රජය එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගත් අතර බුද්ධි අංශ යොදවා එහි ආරක්ෂක කටයුතු නිරන්තරයෙන් සොයා බැලීමට පියවර ගත්තේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත් වූ අතර ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා එම ප්‍රදේශයේ සංචාරයක ද නිරත විය. ප්‍රාදේශීය හමුදා සහ පොලිස් ප්‍රධානීන් පවතින ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ ලේකම්වරයා දැනුවත් කර තිබෙන අතර ඒ අනුව එළඹි නිගමන මත ආරුගම්බේ ඇතුළු සංචාරක ආකර්ෂණීය ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා, නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එහිදී ආරක්ෂක ලේකම්වරයා, සංචාරකයන්ගේ නිදහසට බාධා නොවන අයුරින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟෙන ලෙස කටයුතු කරන ලෙස ප්‍රකාශ කර ඇත.