මහමැතිවරණයේදී ජනතාව සත්‍ය අවබෝධ කරගෙන සමගි ජන බලවේගයට බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ලබාදීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ඒ ඔස්සේ සමගි ජන බලවේගය ප්රමුඛ ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබෙන බවත් ඒ ආණ්ඩුවේදී ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ වැඩසටහන අකුරටම ඉටු කරන බවත් ඒ මහතා කීවේය. ඒ මහතා මේ බව පැවැසුවේ මෙවර මහමැතිවරණය වෙනුවෙන් රත්නපුරේදී ඊයේ (11) පැවති අවසන් ජනරැලිය අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේදී රට සංවර්ධනය කරන, රට දියුණු කරන ජනතාවට ශක්තිය දෙන ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරිපත් කළා. අපි ඒ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව රටේ කොට්ඨාසයක් පිළිගත්තා. තවත් කොට්ඨාසයක් අපටත් වැඩිය වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළා.
අද වන විට ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා ජනතාවට දුන් බලාපොරොත්තු පොරොන්දු ඒ සියල්ලක්ම අමතක කර දමලා. ඔවුන් මේ රටේ සමස්ත ජනතාව අතරමං කරන වැඩපිළිවෙළක නිරත වෙලා.
අපේ රටේ දරුවන් සහ මව්වරුන් අන්ත අසරණභාවයට පත් කරන තීන්දුවක් වර්තමාන ආණ්ඩුව ලබා ගෙන තිබෙනවා. සෑම මාසයකම ත්‍රිපෝෂ පැකට් ලක්ෂ දාසයක් බෙදා හැරීමට කටයුතු කරනවා. අවුරුදු පහට අඩු අඩුබර දරුවන්ට තමයි මේ ත්‍රිපෝෂ පැකට් එක බෙදා දෙන්නේ. ඒ වගේම ගැබිනි මවුවරුන්ටත් පැකට්ටුවක් හිමිවෙනවා. මවුවරුන් ලක්ෂ හයක ප්‍රමාණයක් සිටිනවා. දරුවන් ලක්ෂ නවයකට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඉතා කෙටි කාලයක් තුළ රජය ගැසට් නිවේදනයක් හරහා ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව ඈවර කිරීමට නැත්නම් තවත් කර්මාන්තශාලාවක් සමඟ එකතු කර ත්‍රිපෝෂ කර්මාන්තශාලාව ඉවත් කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය තීන්දු කර තිබෙනවා.
මේක ගෝඨාභය රාජපක්ෂ මහතාත් කරන්න හැදුවා.
මේකට ගහලා තිබෙන ගැසට් නිවේදනය රිවස් කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. දිසානායක ජනාධිපතිවරයා මේ වන විට ගමන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ගමන් ගත් මාර්ගයේමයි.
පසුගිය ජනාධිපතිවරණයේදී මේ ආණ්ඩුවේ අය කිව්වා බඩු මිල අඩු කරනවා, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරනවා වගේ දේවල්. නමුත් වර්තමාන රජය බඩු මිල අඩුකිරීම කෙසේ වෙතත් පොල් සඳහා පෝලිම් යුගයක් නිර්මාණය කර තිබෙනවා. සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන සහල් දරාගත හැකි මිලකට ජනතාවට ලබා දීමට වර්තමාන ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. ඒ වගේම වරායෙන් තෙල් ගොඩබාන මිලක් ජනතාවට තෙල් ලබා දීමේදී අය කරන මිලත් අතර විශාල වෙනසක් තිබෙන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. අල්ලස දූෂණය වංචාව නිසා මේ දේ සිදුවන බවත් විශාල කොමිස් මුදලක් විවිධ මැති ඇමැතිවරුන් අතට පත්වන බවත් ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ඒ සියල්ල ඉවත් කර ජනතාවට සහන මිලට ඉන්ධන දෙන බවත් ඔවුන් ප්‍රකාශ කළා. ඉන්ධන මිල අඩු කිරීමට පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. විධායක ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා තෙල් මිල අඩු කිරීමට. අපි බිහි කරන ආණ්ඩුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ජනතා පීඩනය අඩු කරන, සහන වැඩි කරන අලුත් ගිවිසුමක් නිර්මාණය කිරීමට අපේ ආණ්ඩුව නායකත්වය ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම රටේ දළ දේශීය නිෂ්පාදනයට සියයට පනහකට වැඩි දායකත්වයක් දෙන්නේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. ඔවුන්ට අගතියක් වුණු පරාටේ නීතිය දෙසැම්බර් 15දා දක්වා අත්හිටුවන්න අපට හැකියාව ලැබුණා. වර්තමාන රජය දෙසැම්බර් 15දා සිට නැවත පරාටේ ඒ නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු සූදානම් කරමින් යනවා. රටේ කර්මාන්ත ශක්තිමත් කරන වැඩපිළිවෙළ, අධ්‍යාපන සෞඛ්‍යය වැඩපිළිවෙළ ගම් හදා නගර හදන වැඩපිළිවෙළ ඔබ තෝරාගත යුතුව තිබෙනවා. ඒ සඳහා ඔබගේ ශක්තිය සමගි ජන බලවේගයට ලබා දෙන්නැයි අපි ඉල්ලා සිටිනවා. මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය සමගි ජන බලවේගයට ලබා දී ජනතා ආශීර්වාදයෙන් යුතු පොදු ජන හිතකාමී ආණ්ඩුවක් බිහි කිරීමට අපි කටයුතු කරනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා-
‘‘මේ රටේ බලයට පත් වුණු ජනාධිපතිවරු නවදෙනාගෙන් කියපු දේ නොකරපු එකම ජනාධිපති අනුර කුමාර දිසානායක බව මේ වන විට රටේ ජනතාවට සනාථ වී තිබෙනවා. රටේ ආණ්ඩු බලය අනුර ජනාධිපතිට දෙනවාද නැත්නම් රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න සජිත් ප්‍රේමදාස අගමැති කරනවාද කියා රටේ ජනතාව මේ වන විට කල්පනා කරමින් සිටිනවා.
ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකළ ජනාධිපතිවරයාට තවදුරටත් බලය ලබා නොදී මෙවර මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ අගමැතිවරයා ලෙස පත් කරන්න රටේ ජනතාව මේ වන විට පෙළ ගැසී සිටිනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා –
‘‘රටේ මේ වන විට පත්වී තිබෙන්නේ සුළුතරයකින් පත්වුණු ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතා ලබා ගත්තේ සියයට හතළිස් දෙකක ඡන්ද ප්‍රතිශතයක්.ඔවුන් ඒ සියයට හතළිස් දෙකක ඡන්ද ප්‍රතිශතය ලබා ගත්තේ වෙස් මුහුණක් පැලඳගෙනයි. අනුර දිසානායක ඇතුළු පිරිස ඔවුන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නැති කොටසක් බවට ජනතාවට පෙන්වන්න උත්සාහ කළා. ඔවුන් ජාතික ජන බලවේගය කියන වෙස් මුහුණ බැඳගෙනයි කටයුතු කළේ. ඒ වගේම ජාතික ජන බලවේගය පිරිස් ප්‍රකාශ කරනවා රටේ වෘත්තීය සමිති විසුරුවා හරිනවා කියලා.ආණ්ඩුව රටේ වැඩ කරන ජනතාවට තමයි මේ අභියෝග කර තිබෙන්නේ. වර්තමාන ආණ්ඩුව මේ අභියෝග කරන්නේ ලෝකයම පිළිගත් කම්කරු ප්රඥප්තියටයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා-
‘‘ජනාධිපතිවරයෙක් ප්‍රකාශිත ඡන්දවලින් වැඩි පිරිසක් විරුද්ධව පත්වුණ ජනාධිපතිවරයෙක් තමයි මේ වන විට රට පාලනය කරන්නේ. වර්තමාන ජනාධිපතිවරයාට කැමැත්ත ලැබී තිබෙන්නේ සියයට හතළිස් දෙකක පමණයි.සියයට පනස් අටක් අනුර දිසානායක ජනාධිපතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.