ජොන්ස්ටන්ගේ BMW රථයේ CCTV දර්ශන සුරක්ෂිතව තබන්නැයි නියෝග

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් ප්‍රශ්නගත බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය ගාල් කර තිබූ කොළඹ හිල්ටන් හෝටලයේ සීසීටීවී දර්ශන සුරක්ෂිත කර තබන ලෙස එහි කළමනාකාරිත්වයට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (11) නියෝගයක් නිකුත් කළාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය කළාය. ඊට අදාළ සීසීටීවී දර්ශන විමර්ශනය සඳහා සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව එම සීසීටීවී සාක්ෂි සුරක්ෂිත කර තබන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ප්‍රශ්නගත වාහනය අධිකරණ භාරයට ගන්නා ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ප්‍රගතිය දැනුම් දෙමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අධිකරණ පරිශ්‍රයේ ඉඩ සීමිත බැවින් එම වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා තබන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුගේ රියැදුරන් දෙදෙනකු සහ වාහනය එකලස් කළ බව කියන පුද්ගලයකුගේ ඥාතියකු ඇප මත මුදාහැර ඇත.

මේ වාහනය කොළඹ හිලටන් හෝටලයේ රථ ගාලේ නවතා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන විමර්ශන ආරම්භ කරනු ලැබීය.