චීන ආධාරවලින් කොළඹ ඉදිවන අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති 5ක ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම් භාරදෙයි

චීන රජයේ ආධාර යටතේ කොළඹ නගරය ඇතුළු ආසන්න නගර කිහිපයක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘති 5කට අදාළ ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම් භාරදීම ඊයේ (11) ග්‍රාමිය හා නාගරික සංවර්ධන නිවාස ඉදිකිරීම් ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රධනත්වයෙන් සිදු කෙරිණි. අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණ ඇතිව චීන යුවාන් මිලියන 552ක මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක මේ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 1996 ඉදිවන අතර ඉන් නිවාස 108ක් ප්‍රවීණ කලාකරුවන්ගේ පවුල්වලට වෙන් කෙරෙනු ඇත.

අදියර තුනක් යටතේ සිදු කෙරෙන මේ නිවාස ව්‍යාපෘතිය චීන රජයට අයත් චීන දුම්රිය 25 වන සමූහය, චීන වරාය ඉංජිනේරු සමාගම, ෂනක්ෂි ආයෝජන හා ඉදිකිරීම් සමූහය යන ඉදිකිරීම් සමාගම් මඟින් ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ පෑලියගොඩ නිවාස 615ක්, දෙමටගොඩ නිවාස 586ක්, මොරටුව නිවාස 575ක්, මහරගම නිවාස 112ක් හා ප්‍රවීණ කලාකරුවන්ට කොට්ටාවේ නිවාස 180ක් ද ඉදිකෙරෙනු ඇත. මේ මාසයේදීම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹීමට නියමිත ඇති අතර ඉදිරි වසර තුනක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර තිබේ. මෙරට අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් මේ නිවාස ව්‍යාපෘතිය ලබාදීම වෙනුවෙන් චීන රජයට ස්තුතිය පුදකළ අමාත්‍යවරයා දෙරට අතර අවබෝධතාව වර්ධනය කර ගැනීමට මේ ආධාර මහත් රුකුලක් වන බව ද එහිදී පැවසීය.

අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එල්.බී.කුමුදුලාල් මහත්වරුන් ඇතුළු චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.