ඔස්ට්‍රේලියාවේදී කිඹුල් කටට වැටුණු ඉයන් බෝතම් නූලෙන් බේරෙයි

ලෝක ක්‍රිකට් පිටියේ හිටපු විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයකු වන ශ්‍රීමත් ඉයන් බොතම් කිඹුලුන්ගෙන් පිරුණු ගඟකට වැටීමෙන් අනූනවයෙන් දිවි බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ 68 හැවිරිදි බෝතම් මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ උතුරු ඔස්ට්‍රේලියාවේ මොයිල් ගංගාවේ මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේදී බවත්, ඔහු බේරාගෙන ඇත්තේ ඔහුගේ මිතුරකු වන ඔස්ට්‍රේලියානු පිලේ හිටපු වේගපන්දු යවන්නකු වූ මර්වි හියුස් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ලොව වටා සංචාරය කරමින් විනෝද වන ඉයන් බෝතම් ඔස්ට්‍රේලියාවේ සිය ක්‍රිකට් සගයකු වූ මර්වි හියුස් සමඟ බෝට්ටුවකින් මොයිල් ගංගාවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර, එහිදී පය පැටලී දියට ඇද වැටී ඇත. මොයිල් නදිය කිඹුල්ලුන්ගේ සහ මෝරුන්ගේ රජදහනක් වන බවත්, ඔහු සමඟ බෝට්ටුවේ සිටි මර්වි හියුස් සහ ඒ මොහොතේ අවට බෝට්ටුවල සිටි පිරිස එක්ව බෝතම් වහාම ගොඩ ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

70 දශකයේ අගභාගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සේන්දු වූ බෝතම් අළුබඳුන ටෙස්ට් තරගාවලි ඉතිහාසයේ සිය ප්‍රතිවාදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සමඟ නිතර නිතර ගැටුම් ඇතිකරගත් ‘කුකුල් කේන්තිකාරයකු’ ලෙස ද ප්‍රකටව සිටියේය. එංගලන්තය වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 102කට සහ එක්දින තරග 116කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 383ක් සමඟ ශතක 14ක් සහ අර්ධ ශතක 22ක් සමඟ ටෙස්ට් ලකුණු 5200ක් ද, කඩුලු 145ක් සහ අර්ධ ශතක 9ක් සමඟ එක්දින ලකුණු 2113ක් ද රැස් කිරීමට සමත් විය. ඔහු අනූව දශකයේ මුල් භාගයේදී ක්‍රීඩාවෙන් සමුගත් අතර, නයිට් නාමයෙන් පිදුම් ලැබුවේ 2020 වසරේදීය.