නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ. මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනකු සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29ක් ඇතුළුව පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 225 දෙනකු නව පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත.
පාර්ලිමේන්තුව අභිනවයෙන් ආරම්භ වන මෙදින සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත පැවරෙන අතර පළමු දිනයේදී මන්ත්‍රීවරුන්ට ආසන පැනවීමේ පිළිවෙළක් නැත. පළමු දිනයේදී රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වේ.
සෙංකෝලය සභාගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහලේකම්වරිය විසින් පළමුව ප්‍රකාශයට පත් කරයි.
ඉන්පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙළින් කථානායකවරයා ඡන්දයෙන් පත් කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ඡන්දයෙන් තොරා පත් කර ගැනීම සිදුකරනු ලැබේ.
පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඕනෑම මන්ත්‍රීවරයකු පත් කළ හැකි වුවද කිසියම් මන්ත්‍රීවරයකුගේ නාමයෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර කථානායකවරයා ලෙස පත්වීමට අදාළ මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසා දැනගනු ලැබිය යුතුය. කථානායකවරයා පත්කිරීම මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවිය යුතු අතර ඒ පිළිබඳ විවාද පැවැත්වීමට අවකාශ නොලැබේ. මෙහිදී අදාළ මන්ත්‍රීවරයාගේ නාමයෝජනා ස්ථිර කරනු ලැබූ මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් එම මන්ත්‍රීවරයාව දෙඅතින් අල්ලාගෙන කථානායක අසුන වෙත කැඳවාගෙන යෑම ඓතිහාසික සම්ප්රදාය වේ.
ඉන්පසුව කථානායකවරයා විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම දීම සිදුකරන අතර එම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දෙනු ලබන්නේ මහලේකම්වරිය ඉදිරියේය. සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයකු ලෙස සිය ප්‍රතිඥාව හෝ දිවුරුම කථානායකවරයා වෙත ලබාදෙන්නේ ඉන්පසුවය.
කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ නම් යෝජනා වී ඇති විටකදී රහස් ඡන්දයක් පැවැත්වේ. කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇති විටකදී ඡන්දයේදී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට යම් මන්ත්‍රීවරයකු අසමත් වුවහොත් අඩුවෙන්ම ඡන්දය ලබාගත් මන්ත්‍රීවරයා තරගයෙන් ඉවත් කොට නැවත ඡන්ද විමසීම සිදු කරයි. ඉන් අනතුරුව ඔවුන් අතරින් වැඩි ඡන්දය හිමි කර ගන්නා තැනැත්තා කථානායක ලෙස තේරී පත්වේ. එමෙන්ම මන්ත්‍රීවරයන් කිහිපදෙනකුගේ නම් යෝජනා වී ඇති අවස්ථාවකදී ඉහත ආකාරයට ඡන්ද පවත්වමින් එක් එක් මන්ත්‍රීවරයා ඉවත් කරමින් අවසානයේ එක් බහුතර ඡන්දලාභියකු ලැබෙන තෙක් ඡන්දය පවත්වයි. නමුත් කිසියම් මන්ත්‍රීවරයකු බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා ඕනෑම විටකදී එම මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස තේරී පත්වේ.