වර්තමානයේ අපේ රටේ දේශපාලන සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක පවතිනවා-ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර

වත්මන් ශ්‍රී ලංකාව තුළ දේශපාලන සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක පවතින බවත්, මේ හේතුවෙන් රට අර්බුදකාරී තත්ත්වයකට පත් වූ බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා පැවැසීය.

ඒ මහතා ඒ බව සඳහන් කළේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (11) පැවැති සර්වජන බලය පක්ෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

“අපි ගෝලීය දකුණ සමඟ එක්විය යුතුයි නැතිනම් මේ අර්බුදකාරී තත්ත්වය තුරන් කළ නොහැකියි. ආර්ථික ස්වෛරීත්වය අප සතු විය යුතුයි. වත්මන් පාර්ලිමේන්තුව පැවැති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයකට පත් කළ යුතුයි. ආණ්ඩුව මෙන්ම යහපත් විපක්ෂයක් මෙරට තුළ ස්ථාපිත කළ යුතුයි. විපක්ෂය කියන්නේ ඊළඟ ආණ්ඩුව නිර්මාණය කරන පක්ෂයයි. ඔවුන්ගේ දේශපාලන මතවාදය ශක්තිමත් වීම වැදගත් කරුණක්.

මෙරට තුළ දේශපාලන සාක්ෂරතාව බිංදුවේ මට්ටමට පැමිණ තිබෙනවා. ඒ හරහා රට අර්බුදකාරී තත්ත්වයකට පැමිණ තිබෙනවා. මේ ආර්ථික අර්බුදය ඇති වූ 2022 වසරේ මාර්තු මස සිට අද දක්වා පක්ෂවල සිදු වූ වෙනස්කම් කොතෙක්ද කියා අපට සිතා ගන්න බෑ. එනිසා හදවතින් නොව බුද්ධියෙන් තීරණ ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා. සර්වජන බලය හරහා යහපත් රාජ්‍යයක් බිහි කිරීමට අප වගබලා ගන්නවා. ජනපතිතුමන්ට අප පවසන්නේ වත්මන් ශ්‍රී ලංකාව සිටින අර්බුදකාරී තත්ත්වය තේරුම්ගන්නා ලෙසයි.”

සර්වජන බලය සංවිධාන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සමන් පීරිස් මහතා මෙහිදී අදහස් දැක්වීය.

මේ අවස්ථාවට කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුදසිංහ, කොමියුනිස්ට් පක්ෂ වෘත්තීය සමිති බියුරෝ ලේකම් එල්. ආර්. ස්ටීවන් මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.