දෙසැම්බරයේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් ඉන්පසුව රටේ ආර්ථිකය ස්ථාවරයි-ජනපති අනුර කුමාර ගම්පහදී කියයි

දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරන බවත් ඒ අනුව ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් අත්පත් කර ගත හැකි බව ජන­ාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මහමැතිවරණය වෙනුවෙන් ගම්පහදී පැවැති අවසන් මැතිවරණ රැලියකට ඊයේ (11) සහභාගී වෙමිනි. එහිදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවැසීය. දෙසැම්බර් මාසයේදී ඉදිරි මාස හතරක කාලයක් සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ලබන වසරේදී අය වැය තුළින් රට නව ආර්ථික දිශානතියක් කරා ගෙන යනවා.

දැනටමත් අපි විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000ක් වැඩි කර තිබෙනවා. අස්වැසුම තව ලැබිය යුතු කණ්ඩායමක් සිටිනවාද කියා සමාලෝචනය කරමින් තිබෙනවා. ඊළඟ අය වැයෙන් උපයන විට බද්ද සාධාරණ අඩු කිරීමකට ගෙන එනවා. ආහාර පාන කිහිපයක වැට් බද්ද ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආදායම් මාර්ග අහිමි පවුල්වල දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා යම් දීමනාවක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ලබන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර එම දීමනාව ලබාදෙනවා. කෘෂි කර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් 15,000ක පැවැති පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කර තිබෙනවා. ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබාදී තිබෙනවා. සහනාධාර දීමනාවන් හැමදාම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් වනතුරු යම් දීමනාවක් යම් සහනාධාරයක් ලබාදීමට අප කටයුතු කරනවා. දුප්පත්භාවයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති අපි ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ආර්ථික, අධ්‍යාපනික වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරනවා.

නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පවත්වනවා. මොකක් වෙයිද? මම දවස් දෙක තුනකට කලින් කිව්වා මේ ඡන්දය දිනනවා. ඇඬෙන්න දිනනවා කියලා. මම දැක්ක දිනන්න කලින්ම කට්ටිය අඬනවා. අඬන්න ඕනෑ. මේ රටට කරපු අපරාධයට. ජනතාව දුක් පීඩාවන්ට හෙළීමට එයාලා අඬන්න ඕනේ. තවම අඬන්න පටන් ගත්තේ නැහැ. මේ රටේ දේශපාලන බලය තිබුණේ පවුල් කිහිපයක් අතේ. සාමාන්‍ය පුරවැසියන් නොසැලකිල්ලට භාජනය කරමින් ඔවුන් රට පාලනය කරගෙන ගියා. දශක හතකට වඩා වැඩි කාලයක් ඔවුන් විරාජමානව මේ රට පාලනය කළා. ඒ පැරණි දූෂිත ප්‍රභූ යන්ත්‍රණය යටතේ තිබුණු බලය සැප්තැම්බර් 21වැනිදා පොදු ජනතාව අතට මාරු වුණා. එම බල හුවමාරුවේදී විශාලතම පිම්ම අරන් දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි. එය සාමාන්‍ය බල හුවමාරුවක් නොවෙයි. අපේ රටේ දේශපාලන බලය තාත්තා, බිරිය, දුව පාලනය කරපු කාලයක් තිබුණා. තව කාලයක තාත්තලා පුතාලා අතේ දේශපාලන බලය තිබුණා. තව කාලයක මාමලා බෑනලා අතේ දේශපාලන බලය තිබුණා. තව කාලයක අයියලා මල්ලිලා අතේ දේශපාලන බලය තිබුණා. ඒ දූෂිත ප්‍රභූ යන්ත්‍රණයෙන් පොදු ජනතාවගේ අතට බලය මාරු කරන්න මේ රටේ ජනතාව සමත් වුණා.

ඔවුන්ගේ ජීවිත කාලය ඇතුළත මෙවැනි ඉරණමකට ලක්වේ යැයි ඔවුන් කිසිදා හිතන්න නැතුව ඇති. ඔවුන් හැමදාම හිතුවේ තමන්ගේ පවුලෙන් අනෙකාගේ පවුලට සිදුවන බල පෙරළියක් විතරයි. ඒ නිසා අද ඔවුන් විශාල වේදනාවකට, කෝපයට පත්ව සිටිනවා. මූණ කාගේද බලන්නේ නැතුව ටීවී එක දිහා බලාගෙන ඇහුවොත් මේ දවස්වල කියන්නේ එකම කතාවක්. මොකක්ද ඒ කතාව. සති තුනකින් ආණ්ඩුව වැටෙනවා කියලා. අවුරුද්දයි ආණ්ඩුව වැටෙනවා කියලා. මේ ආණ්ඩුවට පුරුදු නෑ කියලා. ලකුණු ගොඩයි, මූණු ගොඩයි, පාට ගොඩයි. හැබැයි එකම කතාව. එයාලට මේ පරාජය දරාගන්න බැහැ. ඒගොල්ලෝ පරාජයෙන් කම්පනයට පත් වී සිටිනවා. ගම්පහ දේශපාලන බලය හසුරවපු හැටි ඔබ දන්නවා. මිනුවන්ගොඩ පැත්තේ දේශපාලන බලය හසුරවපු අය අද ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. සමහරු හිතනවා මේ පාලනය බිඳ වට්ටන්න පුළුවන් කියලා. මේ රට ගොඩනැඟීමකින් තොරව අපි බලය අත්හරින්නේ නැහැ.

සමහරු 77 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයට මේ පරිවර්තනය දරාගන්න බැහැ. මේ පරිවර්තනය බිඳ දැමීමට ඒගොල්ලෝ කල්පනා කරනවා. ජනතාව කල්පනා කරන්නේ රට දියුණු කරන්නයි. ඒ නිසා සැප්තැම්බර් මාසේ 21 වැනිදා ඡන්දය නොදුන් විශාල ප්‍රමාණයක් නොවැම්බර් 14 වැනිදා ඡන්දය ලබා දෙනවා. විපක්ෂයේ කල්පනාව ලංකාව වට්ටන්න. ජනතාවගේ කල්පනාව රට දිනවන්නයි. අපි ඒ අයට අභියෝග කරනවා සැප්තැම්බර් මාසේ 21වැනිදා ගත්ත ඡන්ද ප්‍රමාණයවත් ලබා ගන්න කියලා.

මම ඊයේ හිටියේ යාපනය දිස්ත්‍රික්කයේයි. ඒ ජනතාව දීර්ඝ කාලයකට පසුව අපිව වැලඳගෙන තිබෙනවා. සහෝදරයෙක් පණිවිඩයක් එවා තිබෙනවා ඊයේ යාපනයට අවුරුදු වගේ කියලා. උතුරු, දකුණ, නැඟෙනහිර භේදයකින් තොරව පොදු ජනයාගේ බලාපොරොත්තු අපේ පාලනය කෙරෙහි තබා තිබෙනවා. පැරණි පාලකයාට තිබෙන්නේ මේ රට වට්ටන්නේ කොහොමද කියන බලාපොරොත්තුවයි. ඒ අය කොච්චර ප්‍රතික්ෂේප වෙලාද කියනවා නම් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද රැස්වීමක් තිබ්බේ නැහැ. එයාලා සැප්තැම්බර් 21වැනිදා ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විශාල අවලාද නැගුවා. අද ඒවා අසත්‍ය බවට පත්වෙලා තිබෙනවා. ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටෙන්න ඉඩ නොදී ජයග්‍රහණයකින් කෙළවර කිරීම අපේ අරමුණයි.

දේශපාලන බලය කේන්ද්‍ර වී තිබෙන්නේ පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ ප්‍රාදේශීය සභාව තුළයි. මේ බල ව්‍යුහයන් ඇතුළේ සමීපව දේශපාලන නායකත්වයක් ලබාදීම අවශ්‍යයි. ඒ සඳහා ජාතික ජන බලවේගය කණ්ඩායම් මේ දේශපාලන ව්‍යුහය තුළට ඇතුළත් කළ යුතුයි. අපි පසුගිය දින 48ක කාලය තුළ සිදු කළේ, මේ රට අස්ථාවරභාවයට වැටෙන්න ඉඩ නොදී පවත්වාගෙන යෑමයි. රට ඉදිරියට ගෙන යාමට ඉහත කී දේශපාලන ව්‍යුහය සඳහා සමීප දේශපාලන නායකයන් ඇතුළත් කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවට පිරිස් යැවිය යුතුයි. ඒ වෙනුවෙන් මාලිමාවෙන් මේ පාර්ලිමේන්තුව පිරවිය යුතුයි.

එතකොට කට්ටිය කියනවා අපිට හරි පාර පෙන්වන්න ඒගොල්ලොත් පාර්ලිමේන්තු එවන්නලු. ඇති තරම් කැලෑ පාරවල්වල ගිහිල්ලා දැන් කියනවා අපිට හරි පාර පෙන්නන්න පාර්ලිමේන්තු යවන්නලු. මේවා දුකට කියන කතා. මේ පාර හදන්න ඕනෑ ශක්තිමත් ආණ්ඩුවක්. මේ පාර පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුත්තේ ඒ නිසයි.

අපේ රටේ දේශපාලනයට ප්‍රමිතියක් අවශ්‍යයි. අපේ රටේ දේශපාලකයා බලය ලැබුණහම රිසි රිසිසේ ජනතා මුදල් පාවිච්චි කර තිබෙනවා. වාහන ආනයනය කිරීම තහනම් කාලයේ ඒ අයට වාහන ගෙන්වන්න පුළුවන්. ඒ අය හිතු හිතු දේ කරනවා. එයාලට ලියාපදිංචි නොකර වාහන පාරේ පදවන්න පුළුවන්. එම දේශපාලන අධිකාරියේ හිතුවේ තමන්ට රිසි රිසි දේ කිරීමට දේශපාලනය බලය ලැබී තිබෙනවා කියලයි. තමන්ට හිතුනාම කාබනික එළවළු කන්න ඕනේ කියලා නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ ඉඩමේ මිනිස්සු දාලා එළවළු වගා කරනවා. ජනාධිපති කාර්යාලයේ වාහන 863ක් තියෙනවා. ජනාධිපති ධුරය අතහැර යනකොට වාහනත් අරගෙන යනවා. සේවකයොත් අරගෙන යනවා. ඔවුන් හැමදාම හිතාගෙන හිටියේ ඔවුන්ට රිසිරිසි දේ කරන්න පුළුවන් කියලා.

ජාතික ජන බලවේගය ආණ්ඩුව අපේ රටේ දේශපාලනය ප්‍රමිතිගතකරණය කරනවා. කප්පම් දේශපාලනය නවතා දැමීමට කටයුතු කරනවා. දේශපාලනය පිරිසිදු කරනවා. දේශපාලන පිරිසිදු කරන්න ආරම්භක තැන පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමයි. දැනට තිබුණ පාර්ලිමේන්තුව එහෙට මෙහෙට විකිණෙන පාර්ලිමේන්තුවක්. සභා ගර්භය මැද එකිනෙකා රණ්ඩු කරන පාර්ලිමේන්තුවක්. පාසල් දරුවන්ට නැරඹිය නොහැකි පාර්ලිමේන්තුවක්. එහෙම පාර්ලිමේන්තුවක් මේ රටට ඕනෙද? අප හදන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නත් පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නත් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුතුයි.

මාලිමාවෙන් මේ ඉදිරිපත් කර තියෙන කණ්ඩායම හැමදාම ජනතාවගේ පැත්තෙ ඉඳලා සටන් කරපු කණ්ඩායමයි. ඉඳහිට හරි අනෙක් පැත්තෙන් කෙනෙක් එවනවා නම් එයත් අලුත් කෙනෙක් එවන්න. පරණ නරක ඇබ්බැහි වුණු දේශපාලන චරිත පාර්ලිමේන්තුවට එවීමෙන් පාර්ලිමේන්තුව අපිරිසිදු විය හැකියි.

දැනටමත් අපි තුන්දෙනාගේ ආණ්ඩුව වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. මේ රටේ ආර්ථික හීන් නූලකින් ගැටගහලා තියෙන්නේ. ඒ නිසා මෙය සීරුවෙන් පියමන් කරගන්න ඕනෑ. ඒ නිසා අපි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය සමනය කරමින් සිටිනවා. ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

‘පිරිසුදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ හැම අතින්ම පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. කඩේකට ගියාම හොඳ ආහාර වේලක් ගැනීමේ හැකියාව, පාරෙන් පලතුරු, එළවළු ගන්නවනම් එහි ප්‍රමිතිය පිළිබඳව විශ්වාසය, මිනිස්සුන්ට ජරාව කන්න දෙන එක නවත්වනවා. රට පුරා පිරිසිදු වැසිකිළි පද්ධතියක් නිර්මාණය කිරීම, විනයගරුක සමාජයක් ඇති කිරීම, පරිසර පද්ධතිය ආරක්ෂාව මෙම වැඩසටහන යටතේ තිබෙනවා. එය ‘පිරිසිදු ශ්‍රී ලංකා’ යටතේ ක්‍රියාත්මක කරනවා. කුණු ප්‍රතිචක්‍රීය කරණය කිරීම සඳහා කර්මාන්ත ශාලා ඇති කරනවා. මේ කලාපයේ පිරිසුදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. ඒ සඳහා අරමුදලක් ස්ථාපිත කරනවා.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය පිළිබඳ විශාල සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. දැනට අපේ රටේ රාජ්‍ය සේවය පවතින්නේ මීට දශක දෙකකට පෙර තිබෙන තැනකයි. තවමත් අපේ රටේ උප්පැන්න, ඔප්පු ලබා ගන්න රජයේ ආයතනවල පෝලිමේ ඉන්නවා. මේක දශක දෙකක පෙර ලෝකයයි. ඒ නිසා පෝලිමක් නැතිව ගෙදර සිට පුරවැසියකුට තමන්ගේ ඉල්ලීම රජයෙන් කළ හැකි පරිදි ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. ඉදිරි වසර තුන ඇතුළත ලංකාව ඩිජිටල්කරණය කරනවා. මේ සඳහා හාන්ස් විජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. වැටුපක් ගැනීමකින් තොරව එතුමා වැඩ කරනවා. හොඳ මිනිස්සු ආවහම හොඳ මිනිස්සු එකතු වෙනවා.

ඇමැති විජිත හේරත් මහතා – දැනටමත් අපි දිනල ඉවරයි. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට මම කියන්නෙ මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට විශාල ජයග්‍රහණයක් ලබාදෙන බව. චීනයෙන්, ඉන්දියාවෙන්, අමෙරිකාවෙන් අපට සහයෝගය ලබාදෙනවා. ලෝක බැංකු නියෝජිතයින් අපත් සමඟ සාකච්ඡා කරන්න පැමිණෙනවා. කඩවත – මීරිගම මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු රුපියල් මිලියන 7500ක් යොදවා ඉදිරියේදී අරම්භ කරනවා. ඉදිරියේදී පාර්ලිමේන්තු, ප්‍රාදේශීය සභා, නගර සභා, ප්‍රාදේශීය සභා බලය මාලිමාව සතු වෙනවා. මෙම 14 දින අපට විශේෂයි. ඉල් මහ අපට ඉතා වැදගත්. රෝහණ විජේවීර සහෝදරයා සහ අපේ සටන් සහෝදරයන් සිතූ ලෝකය බිහිවෙනවා. මෙම 14 දින ජාතික ජන බලවේගයේ පිරිසිදු ආණ්ඩුව පිහිටුවමු.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා – අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගත්තෙ ජාතික ජන බලවේගයට එරෙහිව බලවේග රාශියක් ක්‍රියාත්මක වන මොහොතක. සෑම දිස්ත්‍රික්කයකම විශ්‍රාමික හමුදා සාමාජිකයින් ජාතික ජන බලවේගය සමඟ එක්ව සිටිනවා. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පසු අපේ රට මේ වන විට හොඳ මඟකට අවතීර්ණ වෙලා තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය – මේ රට විනාශයට හේතුව පිළිබඳව අප ගෙන් ගෙට ගොස් මහජනතාව දැනුවත් කළා. ගැහැනු අපි එක මිටට එකතුවෙලා ඒ පිළිබඳව සාකච්ඡා කළා. දූෂිත දේශපාලකයො කළ විනාශය පිළිබඳව කතා කළා. දූෂිත දේශපාලනය නැති රටවල් තිබෙනවා. පසුගිය 21 වැනි දිනයේ මේ රටේ ජනතාව රටට වෙනසක් කිරීම ආරම්භ කළා. අප හැමටම සාධාරණ සමාජයක් අවශ්‍යයි. ඒ සඳහා බුද්ධිමත් විෂය දන්නා දේශපාලනඥයින් අවශ්‍යයි. මෙම 14 වැනි දින මාලිමාවේ පිරිසිදු අවංක දේශපාලනඥයින් පාර්ලිමේන්තුවට යවමු.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා – අද විපක්ෂයේ මහත්වරුන්ට අපට එරෙහිව සටන් පාඨ අහිමි වී තිබෙනවා. තාමත් සමහර පත්තර මල්ලිල පරණ පුරුදු අත්හැරල නැහැ. මට ආරංචි වුණා අද දිනත් එක පත්තර මල්ලි කෙනෙක් කියවනවලු ත්‍රිපෝෂ කම්හල වහල පුන්නක්කු පැක්ටරියක් අරින්න කියා. අපි ඒ මල්ලිලාට කියන්න ඕනෙ පුන්නක්කු පැක්ටරියක් අරින්න තරම් අද අපේ රටේ පුන්නක්කු කන අය ඉතුරුවෙලා නැහැ. පසුගිය 21 වැනි රනිල්ට, සජිත්ට, නාමල්ට ඡන්දය දීපු විශාල පිරිසක් අද මාලිමාවත් එක්ක එකතු වෙලා. තවදුරටත් මේ රටේ ජනතාවගේ ජන විඥානයත් සමඟ විහිළු සපයන්න එපා කියල අප ඒ මහත්වරුන්ට කියනවා.

ප්‍රවීණ කලා ශිල්පී රොඩ්නි වර්ණකුල මහතා ප්‍රකාශ කළේ, මෙවර මහ මැතිවරණයේදී මාලිමාවේ 150කට වැඩි සහෝදර සහෝදරියන්ගෙන් පාර්ලිමේන්තුව පිරවිය යුතු බවයි. රටක් වේ නම් සුදුස්සන්ටම එය ලැබිය යුතු බවද ඔහු පැවසීය.